එළිදරවු 18:1-17
එළිදරවු 18:1-17 SCV
ඉන්පසු තවත් දේව දූතයකු මහත් ආධිපත්‍යයෙන් යුතු ව ස්වර්ගයෙන් බැස එනු මම දුටුවෙමි. ඔහුගේ තේජසින් පොළොව දීප්තිමත් විය. ඔහු බලගතු කටහඬකින් මෙසේ මොර ගැසී ය: “ ‘ඇද වැටිණි! මහ බබිලෝනිය ඇද වැටිණි!’ ඇය යක්ෂාත්මයන්ට වාසස්ථානයක් ද, හැම අපවිත්‍ර ආත්මයකට තිප්පොළක් ද, අපවිත්‍ර, පිළිකුල් සියලු පක්ෂීන්ට තිප්පොළක් ද, අපවිත්‍ර, පිළිකුල් සියලු සතුන්ට තිප්පොළක් ද විය. මන්ද ඇගේ ලිංගික අපචාර කෝපයේ මිදි යුෂවලින්, සියලු ජාතීහු බීමත් වූහ. පොළොවේ රජවරු ඇය හා පරදාර සේවනයේ ගැලුණහ. පොළොවේ වෙළෙන්දෝ, ඇගේ සුඛෝපභෝගිත්වයේ බලයෙන්, ධනයෙන් වැඩුණහ.” ඉන්පසු, මෙසේ කියන වෙනත් කටහඬක් ස්වර්ගයෙන් මට ඇසිණි: “මගේ ජනයිනි, ඇගේ පාපවලට ඔබ හවුල් නො වන පිණිස, ඇගේ වසංගතවලට පංගුකාර නො වන පිණිස, ‘ඇගෙන් පිටතට එන්න,’ මන්ද ඇගේ පාප, අහස උසට ගොඩ ගැසී ඇත, දෙවියන්වහන්සේ ඇගේ අපරාධ සිහි කළ සේක. අන් අයට ඇය බෙදූ ලෙසට ඇයටත් ආපසු බෙදන්න; ඇගේ ක්‍රියාවලට දෙගුණයකින් ඇයට ආපසු ගෙවන්න. ඈ මිශ්‍ර කළ කුසලානට දෙගුණයක් ඇයට මිශ්‍ර කර දෙන්න. ඇය තමා ම වර්ණනා කර ගනිමින් සුඛ විහරණයෙන් ජීවත් වූ පමණට, එපමණට ම ඇයට වධ දෙන්න; ශෝකයට පමුණුවන්න. මන්ද ඇය තම හද තුළ උදාරමින්, ‘මම රැජිනක් සේ හිඳගනිමි; මා වැන්දඹු වන්නේ නැත; කිසි කල ශෝකය දකින්නේ ද නැතැ’ යි කියන්නී ය. ඒ හේතුව නිසා, මරණය, ශෝකය හා සාගතය යන ඇගේ වසංගත: එක ම දවසක පැමිණේ. ගින්නෙන් ඇය දවා දැමේ, මන්ද ඇය විනිශ්චය කරන දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පරාක්‍රමවත් ය. “ඇය හා පරදාර සේවනයේ ගැලුණු, ඇය සමඟ සුඛ විහරණයෙන් විසූ පොළොවේ රජවරු ඇය දැවෙන ගින්නේ දුම දකින කල, ඇය ගැන හඬනු ඇත; වැලපෙනු ඇත. ඇය විඳින වධය ගැන බයින් ඔවුහු දුරින් සිට මෙසේ හඬ නැගූහ: “ ‘අහෝ! අහෝ මහ පුරවරය, අහෝ බබිලෝනිය! බලවත් පුරවරය, නුඹේ විනිශ්චය එක් පැයකින් ම ඇවිල්ලා!’ “පොළොවේ වෙළෙන්දෝ ද තමන්ගේ වෙළඳ බඩු කිසිවකු මිලට නො ගන්නා බැවින් ඇය ගැන හඬති; වැලපෙති. එම වෙළඳ බඩු නම් රන්, රිදී, මිණි, මුතු භාණ්ඩ ද සිහින් හණ රෙදි, දම් පැහැ ඇඳුම්, පටපිළි හා තද රත් පැහැ රෙදි, සකල වර්ගයේ සුවඳ දැව ද ඇත්-දළින්, අධි මිල දැවයෙන්, ලෝකඩින්, යකඩින් හා කිරිගරුඬින් තැනූ විවිධ බඩු භාණ්ඩ ද කුරුඳු, කුළු බඩු, සුගන්ධ ද්‍රව්‍ය, සුවඳ විලවුන් හා කට්ටකුමංජල් ද මිදි යුෂ හා ඔලීව තෙල් ද සිහින් පිටි හා තිරිඟු ද ගවයින්, බැටළුවන් හා අශ්වයින්, අශ්ව-රථ ද මිනිස් වහලුන් හෙවත් මිනිස් ජීවිත ද යන දෑ ය. “ ‘ඔබ ඉතා ආශා කළ පල, ඔබෙන් දුරු වී ගොසිනි. ඔබගේ සකල සාරයත්, අලංකාරයත් ඔබට අහිමි වී ගොසිනි; ඒවා කිසි කලෙක යළි හමු නො වේ.’ මෙම බඩු වෙළඳාමෙන් ධනවත් වූ වෙළඳුන් ඇය විඳින වධයට බයින්, ඇයගෙන් ඈත් ව සිටගෙන, උස් හඬින් හඬනු ඇත; වැලපෙනු ඇත. “ ‘දම් පැහැ හා තද රත් පැහැ සිහින් හණ පිළියෙන් ද, රනින්, මැණිකෙන් හා මුතුවලින් ද සැරසුණු, මහා පුරවරය, අහෝ, අහෝ! එක ම එක පැයකින් ඒ සියලු ධනය නැති නාස්ති වී ඇත.’ “සියලු නැව්පතීහු ද මුහුදු ගමන්හි යෙදෙන සැවොම ද නාවිකයින් හා මුහුදින් දිවි රැක ගන්නා සැවොම ද ඈත් ව සිටගෙන





