YouVersion Logo
Search Icon

එළිදරවු 18

18
බබිලෝනිය ඇද වැටීම
1ඉන්පසු තවත් දේව දූතයකු මහත් ආධිපත්‍යයෙන් යුතු ව ස්වර්ගයෙන් බැස එනු මම දුටුවෙමි. ඔහුගේ තේජසින් පොළොව දීප්තිමත් විය. 2ඔහු බලගතු කටහඬකින් මෙසේ මොර ගැසී ය:
“ ‘ඇද වැටිණි! මහ බබිලෝනිය ඇද වැටිණි!’#18:2 යෙසා 21;9
ඇය යක්ෂාත්මයන්ට වාසස්ථානයක් ද,
හැම අපවිත්‍ර ආත්මයකට තිප්පොළක් ද,
අපවිත්‍ර, පිළිකුල් සියලු පක්ෂීන්ට තිප්පොළක් ද,
අපවිත්‍ර, පිළිකුල් සියලු සතුන්ට තිප්පොළක් ද විය.
3මන්ද ඇගේ ලිංගික අපචාර කෝපයේ මිදි යුෂවලින්,
සියලු ජාතීහු බීමත් වූහ.
පොළොවේ රජවරු ඇය හා පරදාර සේවනයේ ගැලුණහ.
පොළොවේ වෙළෙන්දෝ, ඇගේ සුඛෝපභෝගිත්වයේ බලයෙන්, ධනයෙන් වැඩුණහ.”
බබිලෝනියේ දඬුවම වෙතින් පලා යෑමට අනතුරු ඇඟවීම
4ඉන්පසු, මෙසේ කියන වෙනත් කටහඬක් ස්වර්ගයෙන් මට ඇසිණි:
“මගේ ජනයිනි, ඇගේ පාපවලට ඔබ හවුල් නො වන පිණිස,
ඇගේ වසංගතවලට පංගුකාර නො වන පිණිස,
‘ඇගෙන් පිටතට එන්න,’#18:4 යෙරමි 51;45
5මන්ද ඇගේ පාප, අහස උසට ගොඩ ගැසී ඇත,
දෙවියන්වහන්සේ ඇගේ අපරාධ සිහි කළ සේක.
6අන් අයට ඇය බෙදූ ලෙසට ඇයටත් ආපසු බෙදන්න;
ඇගේ ක්‍රියාවලට දෙගුණයකින් ඇයට ආපසු ගෙවන්න.
ඈ මිශ්‍ර කළ කුසලානට දෙගුණයක් ඇයට මිශ්‍ර කර දෙන්න.
7ඇය තමා ම වර්ණනා කර ගනිමින් සුඛ විහරණයෙන් ජීවත් වූ පමණට,
එපමණට ම ඇයට වධ දෙන්න; ශෝකයට පමුණුවන්න.
මන්ද ඇය තම හද තුළ උදාරමින්,
‘මම රැජිනක් සේ හිඳගනිමි;
මා වැන්දඹු වන්නේ නැත;
කිසි කල ශෝකය දකින්නේ ද නැතැ’#18:7 යෙසා 47:7,8 යි කියන්නී ය.
8ඒ හේතුව නිසා, මරණය, ශෝකය හා සාගතය යන ඇගේ වසංගත:
එක ම දවසක පැමිණේ.
ගින්නෙන් ඇය දවා දැමේ,
මන්ද ඇය විනිශ්චය කරන දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පරාක්‍රමවත් ය.
තුන් වැදෑරුම් විපත්ති
9“ඇය හා පරදාර සේවනයේ ගැලුණු, ඇය සමඟ සුඛ විහරණයෙන් විසූ පොළොවේ රජවරු ඇය දැවෙන ගින්නේ දුම දකින කල, ඇය ගැන හඬනු ඇත; වැලපෙනු ඇත. 10ඇය විඳින වධය ගැන බයින් ඔවුහු දුරින් සිට මෙසේ හඬ නැගූහ:
“ ‘අහෝ! අහෝ මහ පුරවරය,
අහෝ බබිලෝනිය! බලවත් පුරවරය,
නුඹේ විනිශ්චය එක් පැයකින් ම ඇවිල්ලා!’
11“පොළොවේ වෙළෙන්දෝ ද තමන්ගේ වෙළඳ බඩු කිසිවකු මිලට නො ගන්නා බැවින් ඇය ගැන හඬති; වැලපෙති. 12එම වෙළඳ බඩු නම් රන්, රිදී, මිණි, මුතු භාණ්ඩ ද සිහින් හණ රෙදි, දම් පැහැ ඇඳුම්, පටපිළි හා තද රත් පැහැ රෙදි, සකල වර්ගයේ සුවඳ දැව ද ඇත්-දළින්, අධි මිල දැවයෙන්, ලෝකඩින්, යකඩින් හා කිරිගරුඬින් තැනූ විවිධ බඩු භාණ්ඩ ද 13කුරුඳු, කුළු බඩු, සුගන්ධ ද්‍රව්‍ය, සුවඳ විලවුන් හා කට්ටකුමංජල් ද මිදි යුෂ හා ඔලීව තෙල් ද සිහින් පිටි හා තිරිඟු ද ගවයින්, බැටළුවන් හා අශ්වයින්, අශ්ව-රථ ද මිනිස් වහලුන් හෙවත් මිනිස් ජීවිත ද යන දෑ ය.
14“ ‘ඔබ ඉතා ආශා කළ පල, ඔබෙන් දුරු වී ගොසිනි. ඔබගේ සකල සාරයත්, අලංකාරයත් ඔබට අහිමි වී ගොසිනි; ඒවා කිසි කලෙක යළි හමු නො වේ.’ 15මෙම බඩු වෙළඳාමෙන් ධනවත් වූ වෙළඳුන් ඇය විඳින වධයට බයින්, ඇයගෙන් ඈත් ව සිටගෙන, උස් හඬින් හඬනු ඇත; වැලපෙනු ඇත.
16“ ‘දම් පැහැ හා තද රත් පැහැ සිහින් හණ පිළියෙන් ද,
රනින්, මැණිකෙන් හා මුතුවලින් ද සැරසුණු,
මහා පුරවරය, අහෝ, අහෝ!
17එක ම එක පැයකින් ඒ සියලු ධනය නැති නාස්ති වී ඇත.’
“සියලු නැව්පතීහු ද මුහුදු ගමන්හි යෙදෙන සැවොම ද නාවිකයින් හා මුහුදින් දිවි රැක ගන්නා සැවොම ද ඈත් ව සිටගෙන, 18ඇය දැවෙන ගින්නේ දුම දකිද්දී, ‘මේ මහ පුරවරය වැනි පුරවරයක් තවත් වේදෝ?’ යි මොර ගසති. 19ඔවුහු තම හිස් මත ධූලි ඉස ගනිමින්, හඬමින්, වැලපෙමින්, මොර ගසමින්, මෙසේ කීහ:
“ ‘අහෝ! අහෝ මහා පුරවරය,
මුහුදේ නැව් තිබූ සියල්ලෝ,
ඇගේ ඉසුරින් ධනවත් වූහ!
ඇගේ විනාශය එක් පැයකින් ම පැමිණිලා!’
20“එම්බා ස්වර්ගය, ඇය ගැන ප්‍රීති වන්න!
දෙවියන්වහන්සේගේ ජනයෙනි, ප්‍රීති වන්න!
අපෝස්තුලුවරුනි, දිවැසිවරුනි, ප්‍රීති වන්න!
මන්ද දෙවියන්වහන්සේ ඇය ඔබට කළ ලෙස,
ඇයට එරෙහිව විනිශ්චය දී ඇත.”
බබිලෝනියේ අවසන් විනිශ්චය
21ඉන්පසු බලගතු දේව දූතයෙක්, යෝධ ඇඹරුම් ගලක් වැනි මහ ගලක් ගෙන, එය මුහුදේ හෙළුවේ මෙසේ කියමිනි:
“බබිලෝනි මහ පුරවරය බිඳ හෙළනු ලබන්නේ,
මේ සා සැහැසි අයුරිනි,
කිසි කල යළි එය සම්භ වන්නේ නැත.
22වීණා වයන්නන්ගේ, සංගීතඥයින්ගේ නළා වයන්නන්ගේ හා හොරණෑ වාදකයින්ගේ සංගීත නාද,
තවදුරටත් නුඹ තුළ ඇසෙන්නේ නැත.
කවර වෘත්තියක හෝ කර්මාන්තකරුවකු,
තවදුරටත් නුඹ තුළ සම්භ වන්නේ නැත.
ඇඹරුම් ගලක හඬ,
තවදුරටත් නුඹ තුළ ඇසෙන්නේ නැත.
23පහනක එළිය,
යළි කිසි දින නුඹ තුළ බැබළෙන්නේ නැත.
මනාල මනාලියකගේ හඬ,
කිසි දින යළි නුඹ තුළ ඇසෙන්නේ නැත.
නුඹේ වෙළෙන්දෝ පොළොවේ ශ්‍රේෂ්ඨයින් වූහ.
නුඹේ මන්තරවලින් හැම ජාතියක් ම මුළා කරනු ලැබිණ.
24දිවැසිවරුන්ගේ හා ශුද්ධවතුන්ගේ ද පොළොව පිට මරා දමන ලද සැමගේ ද ලේ,
ඇය තුළ තිබෙනු සම්භ වී ය.”

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in