YouVersion Logo
Search Icon

ගීතාවලිය 78

78
ගීතාවලිය 78
ආසාෆ්ගේ මස්කීල්#78:0 සාහිත්‍යමය හෝ සංගීතමය යෙදුමක් විය හැක කාව්‍යයකි.
1අහෝ මගේ ජනයිනි, මගේ ඉගැන්වීමට සවන් දෙන්න;
මගේ මුවින් කියැවෙන වචනවලට සවන් යොමන්න.
2මම උපමාවකින් මගේ මුව විවර කරමි;
පුරාතන පටන් සැඟවී තිබූ දෑ පවසන්නෙමි.
3ඒවා අප අසා ඇති, අප දන්නා,
අපේ පියවරුන් අපට පවසා ඇති දෑ ය.
4ඔවුන්ගේ දරුවන්ගෙන් අප ඒවා සඟවන්නේ නැත;
ස්වාමින්වහන්සේගේ ප්‍රශංසනීය ක්‍රියා,
උන්වහන්සේගේ බලය හා උන්වහන්සේ කළ අරුම පුදුම,
ඊළඟ පරම්පරාවට අපි පවසන්නෙමු.
5උන්වහන්සේ යාකොබ් තුළ පනතක් පිහිටුවා,
ඉශ්‍රායෙල් තුළ ව්‍යවස්ථාව ස්ථාපිත කළේ,
තම දරු පරපුරට ඒවා උගන්වන ලෙස
අප පියවරුනට ආඥා කරමිනි.
6මෙසේ, ඊළඟ පරපුර,
තවමත් නූපන් දරුවන් පවා ඒවා දැනගනු ඇත;
ඔවුන් ද තමන්ගේ දරුවන් එලෙස ම දැනුවත් කරනු ඇත.
7එවිට ඔවුන් දෙවියන්වහන්සේ තුළ තම විශ්වාසය තබනු පමණක් නො ව,
උන්වහන්සේගේ ක්‍රියා අමතක නො කරනු ඇත;
උන්වහන්සේගේ ආඥා ද රක්ෂා කරනු ඇත.
8ඔවුන් තම පියවරුන් මෙන් නො වනු ඇත,
හිතුවක්කාර, කැරලිකාර පරම්පරාවක් වූ ඒ පියවරු
හදවතින් දෙවියන්වහන්සේට පක්ෂපාතී නො වූහ,
ඔවුහු උන්වහන්සේට විශ්වාසවන්ත නො වූහ.
9එප්‍රායිම් ජනයා දුනු දරා සිටියෝ වුව ද,
යුද්ධය දවසේ ආපසු හැරී, පලාගියෝ ය;
10දෙවියන්වහන්සේගේ ගිවිසුම රක්ෂා නො කළ ඔවුහු,
උන්වහන්සේගේ ව්‍යවස්ථාව පිළිපැදීම ප්‍රතික්ෂේප කළෝ ය.
11උන්වහන්සේ කර තිබූ දෑ,
උන්වහන්සේ ඔවුනට පෑ අරුම පුදුම දෑ ඔවුහු අමතක කළෝ ය.
12ඔවුන්ගේ පියවරුන්ගේ ඇස් හමුවේ ඊජිප්තු දේශයේ
සොවන් පළාතේදී උන්වහන්සේ හාස්කම් පෑ සේක.
13උන්වහන්සේ මුහුද දෙබෑ කර, ඒ මැදින් ඔවුන් ගෙන ගිය සේක්,
මුහුදු ජලය ගොඩැල්ලක් මෙන් නො සැලී කෙළින් සිටින්නට සැලසූ සේක.
14උන්වහන්සේ දහවලේ වලාකුළක් මගින් ද
රාත්‍රිය පුරා ගින්නේ ආලෝකය මගින් ද ඔවුන්ට මග පෙන් වූ සේක;
15පාළුකරයේදී උන්වහන්සේ පර්වත පලා,
මහා ගැඹුරකින් සේ ඔවුනට ජලය බහුල ව ගෙන දුන් සේක;
16උන්වහන්සේ පර්වත කූට වෙතින් ජල ධාරා පැන නංවා,
ගංගා සේ, ජලය ගලා යන්නට සැලසූ සේක.
17එහෙත් ඔවුහු උන්වහන්සේට එරෙහිව දිගින් දිගට ම පව් කළෝ,
වියළි පාළුකරයේදී මහෝත්තමයාණන්ට එරෙහිව කැරලි ගැසුවෝ ය.
18ඔවුහු තමන් ගිජු වූ ආහාර ඉල්ලා,
හිතා-මතා ම දෙවියන්වහන්සේ පරීක්ෂා කළෝ ය.
19ඔවුහු දෙවියන්වහන්සේට එරෙහිව කතා කරමින්,
“මේ පාළුකරයේ රස බොජුන් සපයා දෙන්නට
දෙවියන්වහන්සේට පුළුවන් ද?
20වතුර ගලා හැලෙන්නට
උන්වහන්සේ පර්වතයට ගැසූ කල,
ජලය ප්‍රවාහයක් ගලා ගිය ද,
එලෙස අපට අහර දෙන්නටත් උන්වහන්සේට පුළුවන් ද?
ස්වකීය ජනයාට උන්වහන්සේ මස් සපයා දෙන සේක් දැ?” යි
කීවෝ ය.
21 ස්වාමින්වහන්සේ ඒ ඇසූ කල, තදින් ම කෝප වූ සේක;
යාකොබ් වංශයට එරෙහිව උන්වහන්සේගේ ගින්න ඇවුළුණේ ය;
ඉශ්‍රායෙල් ජනයාට එරෙහිව උන්වහන්සේගේ උදහස ඇවුළුණේ ය.
22මන්ද, ඔවුන් දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තැබුවේවත්,
උන්වහන්සේගෙන් ලැබෙන මිදීම ගැන විශ්වාස කළේවත්, නැති බැවිනි.
23එහෙත්, උන්වහන්සේ ඉහළ අහසට නියෝග කරමින්,
ස්වර්ගයේ දොරටු විවර කළ සේක.
24ජනයාට කෑමට උන්වහන්සේ මන්නා-වැසි වැස්සවූ සේක,
උන්වහන්සේ ඔවුන්ට ස්වර්ගීය ධාන්‍ය දුන් සේක.
25මෙසේ, මනුෂ්‍යයෝ දේව දූතයින්ගේ රොටි කෑවෝ ය;
උන්වහන්සේ ඔවුනට බහුල ව ආහාර එවූ සේක.
26උන්වහන්සේ අහසේ පෙරදිග සුළඟ මුදා හළ සේක්,
ස්වකීය බලයෙන් දකුණු දිග සුළඟට මග පෙන් වූ සේක.
27උන්වහන්සේ ඔවුන් පිට දූලි පරිදි මස්-වැහි එවමින්,
මුහුදු වෙරළේ වැලි මෙන්, ඔවුන් වෙත පියාඹන කුරුලු රෑන් එවූ සේක.
28ඒ කුරුල්ලන් ඉශ්‍රායෙල් කඳවුර තුළට,
ඔවුන්ගේ සියලු කූඩාරම් වටේට වැටෙන්නට උන්වහන්සේ සැලසූ සේක.
29ඔවුහු තවත් කෑ නො හැකි තරමට කෑහ.
ඔවුන් තෘෂ්ණා වූ දෑ උන්වහන්සේ ඔවුනට දුන් සේක.
30එහෙත්, ඔවුන් තෘෂ්ණාව සතප්පවන්නටත් කලින්,
ඔවුන්ගේ ආහාර ඔවුන්ගේ මුව තුළ තිබියදී ම,
31දෙවියන්වහන්සේගේ කෝපය ඔවුන්ට එරෙහිව පැන නැංගේ ය;
උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රබලතමයින් නසා දැමුවේ,
ඉශ්‍රායෙල් තරුණයින් ගසා හෙළමිනි.
32මේ සියලු දේ නො සලකමින්, ඔවුහු පවෙහි ම ගැලුණෝ,
උන්වහන්සේගේ විස්මිත ක්‍රියා තිබියදීත්, විශ්වාස නො කළෝ ය.
33එබැවින් උන්වහන්සේ ඔවුන්ගේ දවස් සුසුමක් ලෙස ද
ඔවුන්ගේ අවුරුදු භීතියෙන් ද ගෙවීයන්නට සැලසූ සේක.
34දෙවියන්වහන්සේ ඔවුන් සමහරෙක් මරණයට පත් කළ කල්හි, ඔවුහු උන්වහන්සේ සොයන්නට වන්හ;
ඔවුහු පසුතැවිලි ව, ඕනෑකමින්, දෙවියන්වහන්සේ සොයන්නට වන්හ.
35තමන්ගේ පර්වතයාණන් දෙවියන්වහන්සේ වග,
තම මිදුම්කරුවාණන් මහෝත්තම දෙවියන්වහන්සේ වග එවිට ඔවුහු සිහිපත් කළෝ ය.
36එහෙත් ඔවුහු තම මුවින් උන්වහන්සේට චාටු කතා පවසමින්,
තම දිව්වලින් උන්වහන්සේට බොරු කළහ.
37ඔවුන්ගේ හදවත් දෙවියන්වහන්සේට පක්ෂපාතී නො වී ය;
උන්වහන්සේගේ ගිවිසුමට ඔවුහු විශ්වාසී නො වූහ.
38එහෙත් උන්වහන්සේ දයාවන්ත වූ සේක;
ඔවුන්ගේ අයුතුකම්වලට කමා වූ සේක්;
ඔවුන් විනාශ කර නො දැමූ සේක.
බොහෝ විට උන්වහන්සේ තම කෝපය යටපත් කර ගත් සේක්;
තම උදහස මුළුමනින් ඇවිළෙන්නට ඉඩ නුදුන් සේක.
39ඔවුන් හුදු මිනිසුන් පමණක් වග,
ආපසු නො එන, සැණෙක පහ වී යන සුළං රොදක් පමණක් වග උන්වහන්සේ සිහිපත් කළ සේක.
40පාළුකරයේදී ඔවුන් කොතෙක් වරක් උන්වහන්සේට එරෙහිව කැරලි ගසමින්,
ඒ පාළු කතරේදී උන්වහන්සේට දුක් දුන්නා ද!
41ඔවුහු යළි යළිත් දෙවියන්වහන්සේ පරීක්ෂාවට ලක් කළෝ,
ඉශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ප්‍රකෝප කළෝ ය.
42ඔවුහු උන්වහන්සේගේ බලය මතකයේ තබා නො ගත්තෝ ය.
එනම්, පීඩකයා වෙතින් උන්වහන්සේ ඔවුන් මුදා ගත් අයුරු,
43ඊජිප්තුවේදී උන්වහන්සේ පෑ උන්වහන්සේගේ අනුහස් ලකුණු,
සොවන් පළාතේදී පෑ උන්වහන්සේගේ විස්මිත ක්‍රියා යන දෑ ය.
44එහිදී උන්වහන්සේ ඊජිප්තුවරුන්ගේ ගංගා, ලෙයට හැරවූයෙන්,
ඔවුන්ට තම ඇළදොළවලින් බීමට නො හැකි විය;
45ඔවුන් කා දමන පිණිස, උන්වහන්සේ රංචු ගණන් මැසි කැල ද
ඔවුන් වනසන පිණිස මැඩියන් ද එවූ සේක.
46උන්වහන්සේ ඔවුන්ගේ අස්වනු පලාගිරවුන්ට,
ඔවුන්ගේ නිපැයුම් පළඟැටියන්ට දුන් සේක.
47උන්වහන්සේ ඔවුන්ගේ මිදි වැල්, ගල් වැස්සෙන් ද
ඔවුන්ගේ අත්තික්කා වගාව, හිම-වැස්සෙන් ද විනාශ කළ සේක.
48උන්වහන්සේ ඔවුන්ගේ ගව පට්ටි, ගල් වැස්සටත්,
ඔවුන්ගේ සත්ව සම්පත විදුලි අකුණුවලටත් යටකළ සේක.
49උන්වහන්සේ තම උග්‍ර කෝපය පිට කරමින්,
තම උදහසත්, ක්‍රෝධයත්, වෛරයත් යන විනාශකාරී දූත කණ්ඩායම
ඔවුනට එරෙහිව පිටත් කළ සේක.
50උන්වහන්සේ තම කෝපය ගලා යන මාවතක් සාදා ගනිමින්,
මරණයෙන් ඔවුන් නො වැළැක් වූ සේක;
වසංගතයට ඔවුන් ගොදුරු කළ සේක.
51උන්වහන්සේ ඊජිප්තුවරුන්ගේ සියලු කුලුඳුලන්,
එනම්, හාම්ගේ කූඩාරම්වල වූ ඔවුන්ගේ ශක්තියේ ප්‍රථම පල ගසා හෙළූ සේක.
52එහෙත් උන්වහන්සේ ස්වකීය ජනතාව බැටළුවන් සේ එරටින් පිටතට ගෙන ආ සේක්,
බැටළු රැළකට සේ පාළුකරය ඔස්සේ ඔවුනට මග පෙන් වූ සේක.
53උන්වහන්සේ සුරක්ෂිත ව, ඔවුන්ට මග පෙන් වූ බැවින් ඔවුහු බය නො වූහ.
එහෙත් මුහුද, ඔවුන්ගේ සතුරන් ගිලගත්තේ ය.
54මෙසේ උන්වහන්සේ ස්වකීය ශුද්ධ දේශයේ මායිම වෙත,
ස්වකීය දකුණතින් වෙන් කර ගත් කඳුරට වෙත, ඔවුන් ගෙන ආ සේක.
55උන්වහන්සේ තම ජනයා ඉදිරිපිටින් සෙසු ජාතීන් පලවා හැරිය සේක්,
ඔවුන්ගේ දේශය තම ජනයාට උරුමයක් කොට බෙදා දුන් සේක.
උන්වහන්සේ ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ ඔවුන්ගේ කූඩාරම්වල පදිංචි කර වූ සේක.
56එහෙත් ඔවුහු දෙවියන්වහන්සේ පරීක්ෂාවට ලක් කළෝ ය;
මහෝත්තමයාණන්ට එරෙහිව කැරලි ගැසූ ඔවුහු,
උන්වහන්සේගේ පනත් රක්ෂා නො කළෝ ය.
57ඔවුන්ගේ පියවරුන් මෙන් ඔවුහු ද පක්ෂපාතී නො වූ, විශ්වාසවන්ත නො වූ,
අනිස්තිර දුන්නක් මෙන් වකගැසුණහ.
58ඔවුහු තම උස් තැන් පුදසුන් මගින් උන්වහන්සේ කෝප කළහ;
තම දේව පිළිම මගින් උන්වහන්සේගේ ඊර්ෂ්‍යාව ඇවිස්සූහ.
59ඒ දුටු දෙවියන්වහන්සේ බොහෝ සේ කෝප වූ සේක්,
සම්පූර්ණයෙන් ම ඉශ්‍රායෙල් ජනයා ප්‍රතික්ෂේප කළ සේක.
60උන්වහන්සේ ෂීලෝහි පිහිටි කූඩාරම වන
මිනිසුන් අතරේ වූ තම වාසස්ථානය අතැර දැමූ සේක;
61උන්වහන්සේ තම බලයේ ගිවිසුම් කරඬුව සතුරාට අල්ලා ගන්නට ඉඩ දුන් සේක්;
තම ශෝභාලංකාරය සතුරන් අතට පත් කළ සේක.
62උන්වහන්සේ තම ජනයා කඩුවට භාර දුන් සේක;
තම උරුමය වන ජනයා සමඟ අතිශයෙන් කෝප වූ සේක.
63ගින්න, ඔවුන්ගේ යෞවනයින් බිලි ගත්තේ ය.
ඔවුන්ගේ යෞවනියන්ට මංගල ගී නො වී ය.
64ඔවුන්ගේ පූජකයෝ කඩුවෙන් වැටී ගියහ.
එම වැන්දඹුවනට වැලපෙන්නට හෝ ඉඩ නො ලැබිණ.
65එවිට ස්වාමියාණන් නින්දෙන් පිබිදියාක් මෙන් නැගුටුණේ,
මිදි යුෂ මත සිඳුණු පසු නැගිටින මිනිසකු පරිද්දෙනි.
66උන්වහන්සේ තම සතුරනට පෙරළා පහර දුන් සේක්,
සදාතනික ලජ්ජාවට ඔවුන් පත් කළ සේක.
67ඉන්පසු උන්වහන්සේ යෝසෙප්ගේ කූඩාරම ඉවත ලූ සේක;
එප්‍රායිම් ගෝත්‍ර වංශය තෝරා නො ගත් සේක.
68එහෙත් උන්වහන්සේ යූදා ගෝත්‍ර වංශය තෝරාගත් සේක.
තමන් ප්‍රේම කළ සියොන් කන්ද තෝරාගත් සේක.
69උන්වහන්සේ එහි තම ශුද්ධස්ථානය අහස සේ උසස් ව,
තමන්වහන්සේ සදහට ම පිහිටූ පොළොව සේ ඉදි කළ සේක;
70උන්වහන්සේ තම සේවක දාවිත් තෝරා ගෙන,
බැටළු ගාල් වෙතින් ඔහු කැඳවා ගත් සේක.
71බැටළුවන් බලා ගැනීමෙන් උන්වහන්සේ ඔහු ඉවතට ගත්තේ,
යාකොබ් වංශික තම ජනයා වන
ස්වකීය උරුමය වූ ඉශ්‍රායෙල්වරුන් රැක බලා ගැනීමට ය.
72එබැවින් දාවිත් නොවක් හදින් ඔවුන් රැක බලා ගත්තේ ය;
නිපුණ හස්තයෙන් ඔවුන්ට මග පෙන්වී ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in