YouVersion Logo
Search Icon

ගීතාවලිය 71

71
ගීතාවලිය 71
1සරණය සොයමි මම, ඔබවහන්සේ තුළ, අහෝ ස්වාමින්වහන්ස,
ලජ්ජාවට පත්වන්න කිසි දින මට ඉඩ නො තබනු මැනවි;
2මුදනු මැනවි මා, බේරුව මැනවි මා ඔබේ දමිටුකම නිසා.
මා වෙත ඔබේ සවන යොමා, මා ගැලෙවුව මැනව.
3හැම විට ගොස්, රැකවරණ ලබන්නට,
මගේ සරණයේ පර්වතය වුව මැනවි;
මගේ පර්වතයත්, මගේ බළකොටුවත් ඔබ ම බැවින්,
මා ගලවන්නට නියෝගය දුන මැනවි.
4අහෝ මගේ දෙවියන්වහන්ස, දුෂ්ටයන්ගේ අත්වලින්,
අසාධාරණ හා කෲර වූ මිනිසුන්ගේ ග්‍රහණයෙන් මා මුදා ගත මැනවි.
5අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, මගේ බලාපොරොත්තුව ඔබ ය,
බාල කාලයේ පටන් මගේ විශ්වාසය ඔබ ය.
6උපතේ පටන් මා විශ්වාසය තැබුවේ ඔබ මත ය;
මගේ මවගේ කුසයෙන් මා පිටතට ගෙනාවේ ද ඔබ ම ය.
සැමදා මම ඔබට පැසසුම් දෙන්නෙමි.
7බොහෝ දෙනකුට මම විස්මයක් ව සිටිමි;
එහෙත් මගේ බලවත් සරණය, ඔබවහන්සේ ය.
8ඔබ ගැන ප්‍රශංසාවෙන් මගේ මුව පිරී තියේ;
දවස මුළුල්ලේ ඔබගේ මහිමාලංකාරය ඉන් ප්‍රකාශ කෙරේ.
9මා මහලු වියට පැමිණි කල, මා ඉවත නො දැමුව මැනව;
මගේ ශක්තිය සිඳී ගිය කල, මා අත්හැර නො දැමුව මැනව.
10මන්ද මගේ සතුරෝ මට එරෙහිව කතා කරති;
මා මරන්නට බලා සිටින්නෝ එක් ව කුමන්ත්‍රණ කරමින්,
11මෙසේ කියති, “දෙවියන්වහන්සේ ඔහු අත්හැර ඇත;
ඔහු ලුහුබැඳ ගොස්, අල්ලා ගන්න,
ඔහු මුදා ගන්නට කෙනෙක් නැත.”
12අහෝ දෙවියන්වහන්ස, මා වෙතින් ඈත් නො වුව මැනව;
අහෝ මගේ දෙවියන්වහන්ස, මගේ උපකාරයට වහා ආ මැනව.
13මා පිට වරද තබන්නෝ, ලජ්ජාවෙන් විනාශ වී යත්වා!
මට උපද්‍රව කරන්නට සොයන්නෝ,
අවමානයට හා නින්දාවට පත් වෙත්වා!
14එහෙත් මම දිගට ම බලාපොරොත්තු වන්නෙමි;
වඩ වඩාත් මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.
15මගේ මුවින් ඔබගේ ධර්මිෂ්ඨභාවය ගැන පවසන්නෙමි,
දවස පුරා ම ඔබෙන් ලැබෙන ගැලවීම ගැන පවසන්නෙමි,
ඒවා මගේ වැටහීමටත් වඩා වැඩි ය.
16ඔබගේ බලගතු ක්‍රියා ප්‍රකාශ කරමින්, මම එන්නෙමි අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස,
ඔබගේ ධර්මිෂ්ඨභාවය, ඔබගේ ධර්මිෂ්ඨභාවය ගැන පමණක් මම සඳහන් කරන්නෙමි.
17අහෝ දෙවියන්වහන්ස, බාල කාලයේ පටන් ඔබ මට ඉගැන් වූ සේක;
අද දවසේ ඔබගේ අපූර්ව ක්‍රියා මම ප්‍රකාශ කරන්නෙමි.
18ඊළඟ පරම්පරාවට ඔබගේ බලය ප්‍රකාශ කරන තුරු,
මතු පැමිණෙන්නන්ට ඔබගේ වික්‍රමාන්විතභාවය ප්‍රකාශ කරන තුරු,
අහෝ මගේ දෙවියන්වහන්ස, මා මහලු ව, කෙස් පැසී සිටියදී
මා අත්හැර නො දැමුව මැනවි.
19අහෝ දෙවියන්වහන්ස, ඔබගේ ධර්මිෂ්ඨභාවය අහස උසට ම නැගේ,
ආශ්චර්යවත් දෑ සිදු කළ
ඔබවහන්සේ හා සමාන අන් කවුරු ද අහෝ දෙවියන්වහන්ස?
20කරදර හා අසීරුතා අත්දකින්නට
ඔබ මට ඉඩ සැලසූ නමුදු,
ඔබ මගේ ජීවිතය යථා තත්වයට යළි පමුණු වන සේක;
පොළොවේ ගැඹුරේ සිට
ඔබ යළි මා උඩට ගෙනෙනා සේක.
21මගේ ශ්‍රේෂ්ඨත්වය ඔබ වැඩි කරන සේක,
යළිත් මට සහනය සලසන සේක.
22ඔබගේ විශ්වසනීයත්වය, මම මහා වීණාවෙන් පසසන්නෙමි,
අහෝ මගේ දෙවියන්වහන්ස;
වීණාව වයා, මම ඔබට පැසසුම් ගී ගයන්නෙමි,
ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්ස.
23ඔබ විසින් මුදනුලද්දා වන මා,
ඔබට ප්‍රශංසා ගීත ගයනා කල,
මගේ දෙතොල් ප්‍රීතියෙන් කෑ ගසයි.
24මගේ දිව දවස තිස්සේ,
ඔබේ ධර්මිෂ්ඨ ක්‍රියා ගැන පවසයි;
මට අනතුරු කරන්නට සොයන්නෝ
ලජ්ජාවටත්, වියවුලටත් පත් ව සිටිති.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in