YouVersion Logo
Search Icon

ගීතාවලිය 55

55
ගීතාවලිය 55
සංගීත අධ්‍යක්ෂක වෙත. තත් සහිත සංගීත භාණ්ඩ සමඟ. දාවිත්ගේ මස්කීල්#55:0 සාහිත්‍යමය හෝ සංගීතමය යෙදුමක් විය හැක කාව්‍යයකි.
1ඇසුව මැනවි, මගේ යැදුම අහෝ දෙවියන්වහන්ස,
මගේ අයැදුමෙන් නො සැඟවුණු මැනව;
2සවන් දී මට උත්තර දුන මැනව.
මගේ සිතුවිලි අවුල් වී ඇත්තේත්, මගේ මනස කැලඹී ඇත්තේත්
3සතුරාගේ ඝෝෂා හඬට ය,
දුෂ්ටයින්ගේ රැවුම් බැලුම්වලට ය.
මන්ද ඔවුහු මා පිට දුක් පීඩා පමුණුවා,
තම කෝපයෙන් මට නින්දා කරති.
4මා හද, මා තුළ සංවේගයෙන් ගැහෙයි;
මරණ භීතිය මා ආක්‍රමණ කර සිටී.
5බය සහ වෙවුලුම මා වට කොට ගත්තේ ය;
සංත්‍රාසය මා යටකොට ගත්තේ ය;
6එවිට මම මෙසේ කීවෙමි: “අහෝ! පරෙවියකුට මෙන් මට පියාපත් ඇත්නම්!
මම ඈතට පියඹා, විවේකී ව සිටින්නෙමි.
7මම දුර ඈතට පලා ගොසින්,
කාන්තාරයේ නවාතැන් ගන්නෙමි. සෙලා
8මම තද කුණාටුවෙන් හා චණ්ඩ මාරුතයෙන් ඈත් ව,
යුහු ව මගේ රක්ෂස්ථානයට යන්නෙමි.”
9දුෂ්ටයින් වියවුල් කළ මැනව, අහෝ ස්වාමිනි, ඔවුන්ගේ කතාව අවුල් කළ මැනව,
මන්ද පුරවරය තුළ සැහැසිකමත්, කලහයත් මට පෙනේ.
10ඒවා, පුර පවුරු පිට දිවා රැයේ ඒ මේ අත සරති;
ද්වේෂයත්, දූෂණයත් එපුර ඇතුළත ම ය.
11විනාශයේ බලවේග එපුර ඇතුළත ක්‍රියාත්මක ය;
තර්ජනය හා බොරුව කිසි විට ඒ වීදිවලින් බැහැර නො වේ.
12සතුරකු මට නිග්‍රහ කරන්නේ නම්,
මට එය ඉසිලිය හැකි ය;
එදිරිකාරයකු මට එරෙහිව නැගිටින්නේ නම්,
ඔහු වෙතින් මට සැඟවී ගත හැකි ය.
13එහෙත් මට එසේ කරන්නේ ඔබ ය;
මා හා සමාන මිනිසකු වූ මගේ සගයා වූ මගේ හිත මිතුරා ය.
14දෙවියන්වහන්සේගේ ගෘහයේ
ජන සමූහය
අතරේ ඇවිදිමින්,
වරක් අපි මිත්‍ර සහජීවනය වින්දෙමු.
15මගේ සතුරන් හදිසි මරණයට හසු වේවා!
ඔවුන් පණ පිටින් ම පාතාලයට බැස යේවා!
මන්ද දුෂ්ටකම ඔවුන් අතරෙහි සහවාසය කරන්නේ ය.
16එහෙත් මම දෙවියන්වහන්සේට හඬ ගසන්නෙමි;
ස්වාමින්වහන්සේ මා ගලවන සේක.
17සවස ද උදය ද මද්දහන ද
මම සන්තාපයෙන් යුතු ව උස් හඬින් මොර ගසමි;
උන්වහන්සේ මගේ හඬ අසන සේක.
18බොහෝ දෙනකු මට එරෙහිව නැගිටුන ද,
මට එරෙහිව දියත් වූ සටනින්,
උන්වහන්සේ නිරුපද්‍රිත ව මා මුදා ගත් සේක.
19අනාදියේ පටන් සිංහාසනාරූඪ ව සිටින දෙවියන්වහන්සේ
සවන් දී, ඔවුන් යටත් කරන සේක. සෙලා
මන්ද කිසි දින තම දිවි මාර්ග වෙනස් නො කරන
ඒ මිනිසුන් ළඟ දේව භයක් නැත.
20මගේ සගයා තම මිතුරනට පහර දුන්නේ ය.
එසේ ඔහු ගිවිසුම කඩ කළේ ය.
21ඔහුගේ කතාව වෙඬරු පිඩක් සේ මෘදු ය;
එහෙත් ඔහුට ඇත්තේ යුද්ධ මානසිකත්වයකි;
ඔහුගේ වචන තෙල්වලටත් වඩා සෞම්‍ය ය;
එහෙත් ඒවා සටනට ඇදගත් අසිපත් ය.
22ඔබගේ කරදර ස්වාමින්වහන්සේ පිට තබන්න.
උන්වහන්සේ ඔබ උසුලා දරන සේක;
උන්වහන්සේ කිසි දින
ධර්මිෂ්ඨයාට වැටෙන්නට ඉඩ නො දෙන සේක.
23අහෝ දෙවියන්වහන්ස, එහෙත් ඔබ දුෂ්ටයා
විනාශයේ නරාවළ තුළට හෙළන සේක;
ලේ පිපාසිතයෝ හා රැවටිලිකාරයෝ
තමන්ගේ පරම ආයුෂෙන් අඩක්වත් ජීවත් නො වෙති.
එහෙත් මම ඔබවහන්සේ තුළ විශ්වාසය තබමි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in