YouVersion Logo
Search Icon

ගීතාවලිය 51:1-19

ගීතාවලිය 51:1-19 SCV

අහෝ දෙවියන්වහන්ස, ඔබගේ නොමියෙන ප්‍රේමය නිසා, මට දයා වුව මැනව; ඔබගේ ඉමහත් අනුකම්පාවට අනුව, මගේ අපරාධය මකා දැමුව මැනව; මගේ සියලු අයුතුකමින් මා සෝදා, මගේ පාපයෙන් මා පවිත්‍ර කළ මැනව. මන්ද මගේ අපරාධ මම හඳුනමි, මගේ පාප නිතර දෙවේලේ මට සිහිවෙයි. ඔබට විරුද්ධ ව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කර ඇත්තෙමි. ඔබ හමුවේ දුෂ්ටකම් කළෙමි; ඒ ගැන ඔබ පවසන කල, ඔබ සාධාරණ ය. ඔබ විනිශ්චය කරන කල, ඔබ යුක්ති සහගත ය. උපතේදීත්, ඇත්තෙන් ම මා අයුතුකමින් යුතු විණි; මා මව් කුස පිළිසිඳි වේලේ පටන් පාපයෙන් යුතු විණි. සැබවින් ම හද අභ්‍යන්තරයේ සත්‍යයට ඔබ අබිමත වන සේක; හද ඇතුල් ගැබෙහි ඔබ මට ප්‍රඥාව උගන්වන සේක. හිසොප් ඉත්තෙන් ඉස, මා ශුද්ධ කළ මැනව; එවිට මම පවිත්‍ර වන්නෙමි. මා දෝවනය කළ මැනවි; එවිට මම හිමට වඩා සුදු වන්නෙමි, ප්‍රීතියත්, ප්‍රමෝදයත් යළි මට අසන්නට සැලසුව මැනව. ඔබ බිඳිනු ලැබූ මගේ ඇටකටු දැන් සොම්නස් වේවා! මගේ පාප වෙතින් ඔබේ මුහුණ සඟවා ගත මැනව. මගේ සියලු අයුතුකම් මකා දැමුව මැනව. මා තුළෙහි පවිත්‍ර හදක් නිර්මාණ කළ මැනවි. අහෝ දෙවියන්වහන්ස, තිරසර ආත්මයකින් මා ඇතුළාන්තය අලුත් කළ මැනව. ඔබ අබියසින් මා පලවා හැරීමත්, ඔබගේ ශුද්ධාත්මයාණන් මවෙතින් ඉවත ගැනීමත් නො කළ මැනව. ඔබගේ ගැලවීමේ ප්‍රීතිය යළි මට දුන මැනව; අවනත සිතක් මට දී මා දරා සිටිය මැනව. එවිට අපරාධකරුවනට මම ඔබේ මාර්ග කියා දෙන්නෙමි; එකල පව්කරුවන්, ඔබ වෙත හැරී එනු ඇත. අහෝ දෙවියන්වහන්ස, මා ගලවා ගන්නා දෙවියන්වහන්ස, ලේ වැගිරීමේ අපරාධයෙන් මා ගැලෙවුව මැනව; එවිට මගේ දිවෙන් ඔබේ ධර්මිෂ්ඨකමට ගී ගැයේ. අහෝ ස්වාමින්වහන්ස, මගේ තොල් විවර කළ මැනව; එවිට මගේ මුව ඔබට ප්‍රශංසා කරයි. යාග පූජාවට ඔබ සොම්නස් නො වේ; එසේ නො වී නම් මම ඒවා පුදන්නෙමි. දවන යාග පූජාවට ඔබ ප්‍රසන්න නැත. දෙවියන්වහන්සේට පිදෙන යාග පූජාව බිඳුණු සිතක් ය; අහෝ දෙවියන්වහන්ස, කැඩුණු, තැවෙන හදක් ඔබ සුළු කොට නො තකන සේක. ඔබගේ මනා ප්‍රසන්නත්වයෙන් සියොන සඵල කළ මැනව; යෙරුසලමේ පවුරු යළි ගොඩ නැගුව මැනව. එවිට, ඔබ සොම්නස් කරවන ධර්මිෂ්ඨකමේ පූජා, හෙවත් පූර්ණ දවන යාග පූජා පිදෙනු ඇත; එවිට ඔබේ පූජාසනය පිට ගවයින් ඔප්පු කෙරෙනු ඇත.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 51:1-19