ගීතාවලිය 5
5
ගීතාවලිය 5
සංගීත අධ්‍යක්ෂක වෙත. නළා සඳහා ය. දාවිත්ගේ ගීතයකි.
1අහෝ ස්වාමින්වහන්ස, මගේ වදන්වලට සවන් යොමනු මැනව,
මගේ සුසුම් ලෑම සලකා බලනු මැනව.
2සරණ පතන මගේ හඬ ගෑමට සවන් දෙන්න,
මගේ රජ්ජුරුවන්වහන්ස, මගේ දෙවියන්වහන්ස,
මන්ද, ඔබවහන්සේට මම යදින්නෙමි.
3 ස්වාමින්වහන්ස, උදෑසනේ ඔබ මගේ කටහඬ අසා සිටියි.
උදෑසනේ මම, මගේ අයැදුම් ඔබ අබියස අතුරා,
අපේක්ෂා දල්වා බලා සිටින්නෙමි.
4ඔබ දුෂ්ටකමට සොම්නස් වන දෙවියන්වහන්සේ නො වේය,
දුෂ්ටයනට ඔබ අබියස ඉඩක්-පැවැත්මක් නැත.
5උඩඟු වූවන්ට ඔබ අබියසට එන්නට ඉඩ නො ලැබේ.
දුෂ්ටකම් කරන සියල්ලනට
ඔබ ද්වේෂ කරන සේක.
6මුසාව පවසන්නන් වනසා දමන්නේ, ඔබවහන්සේ ය;
ලේ පිපාසිතයින් හා වංචනිකයින්
ස්වාමින්වහන්සේට පිළිකුලක් ය.
7එහෙත් මම, ඔබේ දයා ප්‍රේමයේ බහුලත්වය හේතු කොට,
ඔබේ ගෘහයට ඇතුළු වන්නෙමි.
ඔබේ ශුද්ධ මාලිගාව දෙසට
භය පක්ෂපාතී ව, මම නමස්කාර කරමි.
8අහෝ ස්වාමින්වහන්ස, මට සතුරන් සිටින බැවින්,
ඔබගේ දමිටු මගෙහි මට මගපෙන්වුව මැනව;
ඔබගේ මාවතේ යෑමට හරි දැක්ම මට දුන මැනව.
9විශ්වාස කළ හැකි එක් වචනයකුදු මගේ සතුරන්ගේ මුවෙහි නැත.
ඔවුන්ගේ හදවත්හි ආශාව, විනාශ කරන්නට ය.
ඔවුන්ගේ දිව් පවසන්නේ ඉච්චා-බස් ය;
ඔවුන්ගේ උගුරු, කට ඇරගත් මිනීවළකි.
10අහෝ දෙවියන්වහන්ස! ඔවුන් වරදකරුවන් කොට තීන්දු කළ මැනව.
ඔවුන්ගේ කූට උපා, ඔවුන්ගේ ම වැටී යෑමට හේතු වේවා.
ඔවුන්ගේ පාප අපරාධ ඒ සා මහත් බැවින්, ඔවුන් ඉවත පලවා හළ මැනවි;
මන්ද, ඔවුන් ඔබට එරෙහිව කැරලි ගසා ඇති බැවිනි.
11එහෙත්, ඔබ තුළ සරණ සොයන සියල්ලෝ ප්‍රීති ප්‍රමෝද වෙත්වා!
සැමදා ඔවුහු ප්‍රීතියෙන් ගී ගයත්වා!
ඔබගේ රැකවරණය ඔවුන්ට ඉහළින් විහිදුව මැනව,
ඔබගේ නාමයට ප්‍රේමවන්නෝ ඔබ නිසා සොම්නසින් ඉපිලෙත්වා!
12ධර්මිෂ්ඨයිනට ඔබ ආශිර්වාද කරන සේක, අහෝ ස්වාමින්වහන්ස,
පලිහක් සේ ඔබගේ ප්‍රසාදයෙන් ඔබ ඔවුන් වට කොට තබන සේක.
Currently Selected:
ගීතාවලිය 5: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.