YouVersion Logo
Search Icon

ගීතාවලිය 49:1-20

ගීතාවලිය 49:1-20 SCV

සියලු ජනතාවනි, මේ අහන්න; ලොව සියලු වාසීනි, එක් ව සවන් දෙන්න, උසස්, පහත්, දුප්පත්, පොහොසත් සියල්ලෙනි: මා මුවින් ප්‍රඥාව පැවසෙයි; මා හදවතේ භාවනාව අවබෝධයයි. මම හිතෝපදේශයකට මගේ සවන යොමු කරන්නෙමි; වීණාව වයමින්, මගේ ප්‍රහේලිකාව විස්තර කර දෙන්නෙමි: නපුරු දවස් පැමිණි කල, දුෂ්ට රැවටිලිකරුවන් මා වටා සිටින කල, මම කුමට බිය වන්නෙම් ද? තම වස්තුව ගැන විශ්වාසය තබන ඔවුහු, තම වස්තු සම්භාරය ගැන පාරට්ටු කර ගනිති. අන් කෙනකුට ජීවිත විමුක්ති සැලසීමට හෝ ඒ අය උදෙසා දෙවියන්වහන්සේට මිදීමේ මිලයක් ගෙවීමට හෝ කිසි මිනිසකුට නුපුළුවන. ජීවිතයක මිදීමේ මිලය ඉතා ඉහළ ය. කිසි දා එය ගෙවා නිම කරන්නට බැරි ය. සදහට ම ජීවත්වීමට හා දිරා ජරාවට යෑම වැළැක්වීමට එය ප්‍රමාණවත් නැත. ප්‍රඥාවන්තයෝ මිය යති; අනුවණයෝ හා නූගත්තු ද වැනසී යති; ඒ හැම තමන්ගේ වස්තු සම්පත්, අනුන්ට තබා යති; ඒ වග ඕනෑ ම කෙනකුට පෙනේ. තමන්ගේ ම නමින් වූ වතු පිටි ඔවුනට තිබුණේ වී නමුදු, සදහට ම ඔවුන්ගේ නිවෙස් වන්නේ ඔවුන්ගේ සොහොන් ය. නිමක් නැති පරම්පරා දක්වා ඒවා ඔවුන්ගේ වාසස්ථාන වන්නේ ය. කොතරම් ධනවතකු වුව ද, මිනිසාට නො නැසී පැවතිය නො හැක. ඔහු ද වැනසී යන තිරිසනුන් හා සමාන ය. තමන් ගැන ම විශ්වාසය තබන්නන්ගේ ද ඔවුන්ගේ කියුම් අනුමත කරන ඔවුන්ගේ අනුගාමිකයන්ගේ ද ඉරණම මෙයයි. සෙලා ඔවුන් සිටින්නේ බැටළුවන් මෙන් මරණයට නියම කරනු ලදුව ය. මරණය, ඔවුන්ගේ එඬේරා වෙයි. ධර්මිෂ්ඨයෝ, උදයේ ඔවුන්ගේ පාලකයින් වන්නෝ ය. ඔවුන්ගේ රූපකාය ඔවුන්ගේ සැප මන්දිරවලින් දුරස්ථ ව, මිනී වළෙහි දිරා ජරාවට යන්නේ ය. එහෙත් මගේ ජීවිතය, දෙවියන්වහන්සේ ෂෙයෝලයේ බලයෙන් මුදා ගන්නා සේක; සැබවින් ම උන්වහන්සේ මා පිළිගන්නා සේක. සෙලා යම් මිනිසකු වඩ වඩා ධනවත් වන විට, ඔහුගේ නිවස යස ඉසුරින් පිරෙන කල, කලබල නො වන්න; මන්ද ඔහු මැරුණු කල, ඒ කිසිවක් ගෙන යන්නේ නැත. ඔහුගේ යස ඉසුරු ඔහු කැටිව වළට බසින්නේ නැත. තමා භාග්‍යවතෙකැයි ජීවත් ව සිටියදී ඔහු සිතා සිටියත්, ඔබ සඵල වන කල, මිනිසුන් ඔබ වර්ණනා කළත්, ඔහුගේ ජීවය, කිසි කලෙක ආලෝකය නො දක්නා තම පියවරුන්ගේ නැසී ගිය පරම්පරාවට එකතු වන්නේ ය. අවබෝධයක් නැතිව, මහ ධනයක් ඇති මිනිසා වැනසී යන තිරිසනකු හා සමාන ය.

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 49:1-20