YouVersion Logo
Search Icon

ගීතාවලිය 141

141
ගීතාවලිය 141
දාවිත්ගේ ගීයකි.
1මම ඔබට හඬ ගසමි, අහෝ ස්වාමින්වහන්ස, විගස මා වෙත ආ මැනව;
මා ඔබට හඬ ගසන කල, මගේ කටහඬට සවන් දුන මැනවි.
2මගේ යැදුම්, ඔබ ඉදිරියේ පිදෙන සුවඳ දුම් සේ ද
මගේ අත් එසවීම, සවස යාග පූජාව සේ ද වේවා.
3මගේ කට රැක ගැනීමට මුරකාවල් තැබුව මැනව, අහෝ ස්වාමින්වහන්ස,
මගේ දෙතොල් දොරටුව ළඟ රැකවල් තැබේවා.
4අයුතුකම් කරන මිනිසුන් සමඟ හවුල් වී,
දුෂ්ට ක්‍රියාකාරකම්වල නො ගැලෙන පිණිස,
නපුර වෙත ඇදෙන්නට මගේ හදවතට ඉඩ නො දුන මැනව;
ඔවුන්ගේ රසමසවුළු බුදින්නට ද මට ඉඩ නුදුන මැනව.
5දමිටු මිනිසකු මට පහර දේවා; එය කාරුණිකත්වයකි.
ඔහු මට තරවටු කරත්වා; එය මගේ හිසේ තෙල් ගැල්වීමකි.
මගේ හිස එය ප්‍රතික්ෂේප කරනු නැත.
එහෙත් මගේ යැදුම කවදත් දුෂ්ටකම් කරන්නන්ට එරෙහිව ය.
6ඔවුන්ගේ විනිසුරුවන්, කන්දෙන් පහළට ඇද දමනු ලැබූ කල,
මගේ වචන යෝග්‍ය වග ඔවුන් ඉගෙන ගනු ඇත.
7යමකු බිම හෑමෙන් පස පෙරළන්නේ යම් සේ ද,
අපගේ#141:7 6 සහ 7 පදවල හෙබ්‍රෙව් පිටපතෙහි අදහස අපැහැදිලි ය. ඇටකටු ෂෙයෝල්#141:7 පාතාලය හෙවත් මළවුන්ගේ ස්ථානය කටේ විසිරෙන්නේ ද එලෙසිනි.
8අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, මගේ දෑස් ඔබ වෙත යොමා තිබේ.
මම ඔබගේ පිළිසරණ සොයා එමි; මා අනාරක්ෂිත ව නො තැබුව මැනවි.
9මා හසුකර ගැනීමට ඔවුන් හැදූ උගුල්වලින්,
දුෂ්ටකම් කරන්නන් අටවා ඇති මලපුඩුවලින් මා ඈත්කර තැබුව මැනව.
10මා සුරක්ෂිත ව ඒවා පසු කර යන අතරේ,
ඔවුන් එළූ දැලෙහි ඔවුන් ම පැටලේවා!

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in