YouVersion Logo
Search Icon

ගීතාවලිය 105

105
ගීතාවලිය 105
1 ස්වාමින්වහන්සේට ස්තුති දෙන්න, උන්වහන්සේගේ නාමයෙන් අයදින්න;
උන්වහන්සේ කර ඇති දෑ ජාතීන් අතරෙහි පතළ කරන්න.
2උන්වහන්සේට ගී ගයන්න, උන්වහන්සේට පැසසුම් ගී ගයන්න;
උන්වහන්සේගේ ආශ්චර්යවත් සියලු ක්‍රියා ගැන පවසන්න.
3උන්වහන්සේගේ ශුද්ධ නාමය තුළ උදම් වන්න;
ස්වාමින්වහන්සේ සොයන්නන්ගේ හදවත් සොම්නස් වේවා!
4 ස්වාමින්වහන්සේ ද උන්වහන්සේගේ ශක්තිය ද සොයන්න;
නිරන්තරයෙන් උන්වහන්සේගේ මුහුණ සොයන්න.
5උන්වහන්සේ ඉටු කළ ආශ්චර්යයන් ද උන්වහන්සේ සිදු කළ හාස්කම් ද
උන්වහන්සේ ප්‍රකාශ කළ විනිශ්චයන් ද මතකයේ තබා ගන්න,
6උන්වහන්සේගේ සේවක, එම්බා ආබ්‍රහම් වංශිකයිනි,
උන්වහන්සේගේ තෝරා ගත්තවුන් වන යාකොබ්ගේ පුත්‍රයිනි.
7උන්වහන්සේ අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය;
උන්වහන්සේගේ විනිශ්චය-ආධිපත්‍යය පොළොව මුළුල්ලේ ම පවතී.
8උන්වහන්සේ ස්වකීය ගිවිසුම සදාතනික ව ද
තමන්වහන්සේ අණ කළ වචනය, පරම්පරා දහසකට ද මතක් කරන සේක;
9ඒ, උන්වහන්සේ ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම ය;
ඊසාක්ට දිවුළ දිවුරුම ය.
10උන්වහන්සේ එය, යාකොබ්ට නියෝගයක් ද
ඉශ්‍රායෙල්ට සදාතනික ගිවිසුමක් ද කොට ස්ථිර කළ සේක:
11“ඔබේ උරුමයේ පංගු කොටස වශයෙන්
කානාන් දේශය මම ඔබට දෙන්නෙමි” යි කී සේක.
12ගණනින් ඔවුන් ස්වල්ප දෙනකු ව සිටියදී,
ස්වල්ප දෙනකු ව, දේශයට ආගන්තුක ව සිටියදී,
13ඔවුහු එක් ජාතියක් වෙතින් තවත් ජාතියක් වෙතට ද
එක් රාජ්‍යයක් වෙතින් තවත් එකකට ද සංක්‍රමණ වූහ.
14එකල ඔවුනට පීඩා කරනට කිසිවකුට ඉඩ නුදුන් උන්වහන්සේ,
ඔවුන් උදෙසා රජුන්ට තරවටු කරමින්:
15“මගේ ආලේපය ලද්දවුන්ට අත නො තබනු;
මගේ දිවැසිවරුනට අනර්ථයක් නො කරනු” යි කී සේක.
16උන්වහන්සේ දේශය පිට සාගතය කැඳවා,
ඔවුන්ගේ සැපයුම්, සිඳ දැමූ සේක.
17උන්වහන්සේ ඔවුනට පෙරටුව මිනිසකු පිටත් කර යැවූ සේක.
ඒ, වහලකු වශයෙන් විකුණන ලද යෝසෙප් ය.
18ඔහුගේ පා විලංගු ලූ ඔවුහු,
ඔහුගේ ගෙල යදමින් බැන්දහ.
19ඔහු අනාවැකියෙන් පවසා තිබූ දෑ ඉටු වන තෙක්,
ස්වාමින්වහන්සේගේ වචනය මගින් ඔහු සෝදිසි කරන ලදී.
20එවිට රජු, ඔහු නිදහස් කරවූයේ ය;
ජාතීන්ගේ ආණ්ඩුකාරයා ඔහු නිදහස් කර යැවී ය.
21රජු තම ගෘහ වාසීන්ගේ ස්වාමියා වශයෙන්,
තමන් සන්තක සියල්ලේ ආණ්ඩුකාරයා වශයෙන් ඔහු පත් කළේ,
22ඔහුට රිසි පරිදි රජුගේ අධිපතීනට උපදෙස් දෙන පිණිසත්,
රජුගේ වැඩිහිටියනට ප්‍රඥාව උගන්වන පිණිසත් ය.
23ඉන්පසු ඉශ්‍රායෙල් ඊජිප්තුවට පැමිණියේ ය;
යාකොබ්, හාම්ගේ දේශයේ පිටදේශක්කරුවකු ව වාසය කළේ ය.
24 ස්වාමින්වහන්සේ තම ජනයා බෙහෙවින් සඵල කළ සේක;
ඔවුන්ගේ එදිරිවාදීන්ට වඩා ගණනින් ඔවුන් වැඩි වන්නට උන්වහන්සේ සැලසූ සේක.
25උන්වහන්සේ ස්වකීය ජනයාට ඊජිප්තුවරුන් ද්වේෂ කරන්නට ද
ස්වකීය සේවකයින් වන එම ජනයාට එරෙහිව කුමන්ත්‍රණ කරන්නට ද මං සැලසූ සේක.
26උන්වහන්සේ ස්වකීය සේවක මෝසෙස් ද
උන්වහන්සේ තෝරා ගෙන සිටි ආරොන් ද යැවූ සේක.
27උන්වහන්සේගේ අනුහස් ලකුණු, ඊජිප්තුවරුන් අතරේ විදහා පෑ ඔවුහු,
හාම්ගේ දේශයේදී උන්වහන්සේගේ ආශ්චර්යයන් පෑහ.
28උන්වහන්සේ අඳුර එවා, දේශය අන්ධකාර කළ සේක.
ඔවුහු උන්වහන්සේගේ වචනයට එරෙහිව කැරලි ගැසුවෝ ය.
29උන්වහන්සේ ඔවුන්ගේ ජලය, ලේවලට හරවමින්,
ජලයේ විසූ මත්ස්‍යයින් මැරී යන්නට සැලසූ සේක.
30ඔවුන්ගේ දේශය මැඩියන්ගෙන් වැසී ගොස්,
ඔවුන්ගේ පාලකයින්ගේ නිදන කාමර පවා උන්ගෙන් ගහන විය.
31උන්වහන්සේ අණ දුන් විගස මැස්සන් ද කිනිතුල්ලන් ද රෑන් රෑන් අවුත්,
ඔවුන්ගේ දේශය මුළුල්ලේ ගැවසී ගත්තේ ය.
32උන්වහන්සේ ඔවුන්ට වැසි වෙනුවට ගල් වැහි ද
ඒ සමඟ ඔවුන්ගේ දේශය පුරා විදුලි අකුණු ද එවූ සේක,
33ඔවුන්ගේ මිදි වැල් හා අත්තික්කා ගස් බිඳ හෙළූ උන්වහන්සේ
ඔවුන්ගේ දේශයේ වූ ගහ වැල වනසා දැමූ සේක;
34උන්වහන්සේ අණ දුන් කල පළඟැටියෝ ආහ;
ගණන් නැති තරම් පලා-ගිරවු ආහ.
35දේශයේ හරිත පලා කා දැමූහ;
ඔවුන්ගේ බිමේ පලදාව කා දැමූහ.
36ඊළඟට උන්වහන්සේ ඔවුන්ගේ දේශයේ සියලු කුලුඳුලන්
එනම්, ඔවුන්ගේ සකල ශක්තියේ ප්‍රථම පල ගසා හෙළූ සේක.
37ඉන්පසු උන්වහන්සේ ඉශ්‍රායෙල් ජනයා පිටතට ගෙන ආවේ, බරට ම රිදී හා රත්රන් ද සමඟ ය;
ඔවුන්ගේ ගෝත්‍ර වංශවලින් කිසිවකුත් පැකුළුණේ නැත.
38ඉශ්‍රායෙල් පිළිබඳ භීතියක් තමන් පිට වූ බැවින්,
ඔවුන් පිටත් ව යෑම ගැන ඊජිප්තුව සතුටට පත් විය.
39උන්වහන්සේ ඔවුන්ට ආවරණයක් කොට වලාකුළක් විහිදූ සේක්,
රැයට එළිය දීමට ගින්නක් දුන් සේක.
40ඔවුන් ඉල්ලූ කල, වටු-කුරුල්ලන් ගෙනා උන්වහන්සේ
ස්වර්ගීය රොටිවලින් ඔවුන් තෘප්තිමත් කළ සේක.
41උන්වහන්සේ පර්වතය විවර කළ සේක; එයින් දෝරෙ ගලා ආ ජලය,
කාන්තාරය තුළ ගංගාවක් සේ ගලා ගියේ ය.
42මන්ද ස්වකීය සේවක ආබ්‍රහම්ට දුන් තමන්වහන්සේගේ ශුද්ධ පොරොන්දුව
උන්වහන්සේ සිහි කළ සේක.
43උන්වහන්සේ ස්වකීය ජනයා ප්‍රීති ප්‍රමෝදයෙන් යුතු ව ගෙන ආ සේක;
උන්වහන්සේ තෝරාගත් ජනයා ජය ඝෝෂා සහිත ව ගෙන ආ සේක.
44ජාතීන්ගේ දේශ උන්වහන්සේ ඔවුනට දුන් සේක;
මෙසේ අනුන්ගේ වෙහෙස මහන්සියේ පල ඔවුනට උරුම කරවූයේ,
45ඔවුන් උන්වහන්සේගේ නියෝග සුරකින පිණිසත්,
උන්වහන්සේගේ නීති පිළිපදින පිණිසත් ය.
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in