YouVersion Logo
Search Icon

ගීතාවලිය 10

10
ගීතාවලිය 10
1අහෝ ස්වාමින්වහන්ස, ඇයි ඔබ ඔතරම් ඈතින් සිටින්නේ?
දුක්-විපත් පැමිණි කල, කිම ද ඔබ සැඟවී ඉන්නේ?
2දුෂ්ටයා තම අහංකාරයෙන් පීඩිතයින් ලුහුබඳියි;
අනුන්ට ඔහු ඇටවූ උගුල්වලට ඔහු ම අසුකරලන්න.
3දුෂ්ටයා තම හදෙහි තෘෂ්ණා ගැන උදම් අනයි.
ඔහු මසුරු දනන්හට සෙත් පතා, ස්වාමින්වහන්සේට පරිභව කරයි.
4දුෂ්ටයා තම උඩඟුකම නිසා උන්වහන්සේ සොයන්නේ නැත.
ඔහුගේ මුළු සිතිවිල්ල අනුව දෙවියන්වහන්සේ යැයි කෙනෙක් නැත.
5ඔහුගේ මාර්ග හැම විට සඵලවත් ය.
ඔබගේ නියමයන් ඔහුගේ දැනගැන්මට බොහෝ ඈත ය.
තමාගේ විරුද්ධවාදීන්ට ඔහු දත් විලිස්සයි.
6ඔහු තමාට ම මෙසේ කියා ගනියි: “මා සොලවන්නට කිසිවක් නැත,
කිසි දා කරදර නො විඳිමි.”
7ඔහුගේ මුව පිරී ඇත්තේ ශාපවලිනි, මුසාවලිනි, තර්ජනවලිනි;
ඔහුගේ දිව අග ඇත්තේ, විපත්තිය හා දුෂ්ටකමයි.
8ඔහු ගම්මාන අසල සැඟවී, රැක සිටියි,
පාළු-තැන්වලදී ඔහු අහිංසකයින් මරා දමයි.
අසරණයකු ගොදුරට ගන්නට, ඔහු රහසේ විමසිල්ලෙන් සිටියි.
9ඔහු රහසේ රැක සිටින්නේ, සැඟවුණු සිංහයකු ලෙසිනි;
එසේ ඔහු රැක සිටින්නේ, අසරණ වූවන් අල්ලා ගන්නට ය.
ඔහු අසරණයින් අල්ලා, තම දැලෙන් ඇදගෙන යයි.
10එසේ හසු වූවෝ තලා-පෙළනු ලැබ, වැටී යති.
ඔහුගේ ශක්තිය හමුවේ ඔවුහු වැටී යති.
11ඔහු තමාට ම මෙසේ කියා ගනී: “දෙවියන්වහන්සේට අමතක ව ගොසිනි;
උන්වහන්සේ මුහුණ සඟවාගෙන ඇත, කවදාවත් එය දකින්නේ නැත.”
12නැගිටිනු මැනවි, අහෝ ස්වාමින්වහන්ස! ඔබේ අත ඔසවා පිහිට වුව මැනව අහෝ දෙවියන්වහන්ස,
අසරණ වූවන් අමතක නො කළ මැනව.
13දුෂ්ට මිනිසා දෙවියන්වහන්සේට පරිභව කරන්නේ කිම ද?
“උන්වහන්සේ මගෙන් ගණන් දීමක් නො ඉල්ලතැ” යි
ඔහු තම හද තුළ පවසන්නේ කිම ද?
14එහෙත් ඔබ දකින සේක, මේ කරදර හා දොම්නස ඔබ සලකන සේක.
තත්වය ඔබ අත යටට ගැනීමට ඔබ සිත් යොමන සේක.
අසරණයා තුමූම ඔබ අතට බාර වෙයි.
පියා අහිමි අනාථයින්ගේ උපකාරකරුවාණෝ ඔබ ය.
15දුෂ්ටයාගේ හා නපුර කරන්නාගේ බාහු බලය බිඳලනු මැනව;
එක් දුෂ්ටකමකුදු ඉතිරි නො වන සේ
ඔහුගේ දුෂ්ටකම් ගැන ගණන් දෙන්නට සැලසුව මැනව.
16 ස්වාමින්වහන්සේ සදාතනයෙන් සදාතනයට රජ්ජුරුවෝ ම ය.
උන්වහන්සේගේ දේශයෙන් අන්‍ය-ජාතිකයින් විනාශ වී යයි.
17අහෝ ස්වාමින්වහන්ස, පීඩිතයින්ගේ ආශාවට ඔබ සවන් යොමන සේක,
ඔවුන් දිරිමත් කරන ඔබ, ඔවුන්ගේ හඬ ගෑමට සවන් දෙන සේක.
18එසේ කරන්නේ,
භූමික මිනිසාගෙන් භය-භීතිය ඇති නො වන ලෙසට
පියා අහිමි අනාථයින් හා පීඩිතයින් සුරකිමින් ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for ගීතාවලිය 10