හිතෝපදේශ 28
28
1කිසිවකු පස්සෙන් එලවන්නේ නැතිවත් දුෂ්ටයෝ පැන දුවති;
එහෙත් ධර්මිෂ්ඨයින් සිංහයන් මෙන් එඩිතර ය.
2රටක් කැරලිකාරී වූ කල, ඊට පාලකයෝ බොහෝ දෙනෙක් වෙති;
එහෙත් ස්ථාවර පාලනයක් ඇති වන්නේ, අවබෝධයෙන් හා බුද්ධියෙන් ක්‍රියාකරන්නකු වෙතිනි.
3දිළිඳුන් පීඩාවට පත් කරන පාලකයකු,
අස්වනු වනසන, නා-කපන වැස්සක් වැන්න.
4ව්‍යවස්ථාව නො සලකන්නෝ දුෂ්ටයන් පසසති;
ව්‍යවස්ථාවට ගරු කරන්නෝ ඔවුනට විරුද්ධ ව සිටිති.
5දුෂ්ට මිනිස්සු යුක්තිය නො වටහා ගනිති;
එහෙත් ස්වාමින්වහන්සේ සොයන්නෝ එය සපුරා වටහා ගනිති.
6වංචනික මාර්ගවල යන ධනවතාට වඩා,
නිර්දෝෂී ගති ඇති දුප්පතා අගනේ ය.
7ව්‍යවස්ථාව පිළිපදින්නා නැණවත් පුත්‍රයෙකි;
එහෙත් කෑදරයින් ඇසුරු කරන්නා ඔහුගේ පියාට නින්දාවකි.
8අසාධාරණ පොලියෙන් තම ධනය වැඩිකරගන්නා, ඒවා ගොඩ ගසන්නේ,
දිළිඳුන්ට කරුණාවෙන් සලකන කෙනකු උදෙසා ය.
9ව්‍යවස්ථාවට කන් වසා ගන්නා අයගේ
යාච්ඤාව පවා පිළිකුලක් ය.
10ඍජු ගති ඇත්තන්, නපුරු මාවතක නොමග යවන්නෝ,
තමන් කැපූ වළේ ම වැටෙති.
එහෙත් නිර්දෝෂීහු අගනා උරුමයක් ලබති.
11ධනවතාට තමා නැණවතෙකැයි පෙනී යා හැකි ය;
එහෙත් බුද්ධිමත් දුප්පතා ඔහු කවුරුන්දැයි හඳුනා ගනියි.
12ධර්මිෂ්ඨයින් ජය ගත් කල මහ ප්‍රීති ප්රමෝදයක් වෙයි;
එහෙත් අධර්මිෂ්ඨයින් බලයට පත් කල, ජනයා සැඟවෙති.
13තම පාප සඟවන්නා සඵල වන්නේ නැත;
එහෙත් වරද කියා දී, ඒවා අත්හරින්නා දයාව ලබයි.
14දෙවියන්වහන්සේට නිති භය පක්ෂපාත මිනිසා භාග්‍යවත් ය;
එහෙත් තම හදවත දැඩිකරගන්නා කරදරේ වැටේ.
15අසරණ ජනතාවක් පාලන කරන දුෂ්ට මිනිසා,
ගොරවන සිංහයෙක් ද ගොදුරු සොයා දිවෙන වලහෙක් ද වැනි ය.
16අවබෝධයක් නොමැති පාලකයා කුරිරු පීඩාකාරයෙක;
එහෙත් අයුතු ලාභයට ද්වේෂ කරන්නා දීර්ඝායු භුක්ති විඳියි.
17මිනීමැරීමේ වරදට, මානසික වධයට පත් මිනිසා
මරණය තෙක් ඉබාගාතෙ යයි;
කිසිවකුත් ඔහුට උපකාර නො කරත්වා.
18නිර්දෝෂී ව ජීවත්වන්නෝ සුරක්ෂිත ය;
එහෙත් වංචනික මාර්ගයේ යන්නා හදිසියේ ම ඇද වැටෙන්නේ ය.
19තම බිම් කොටස වගාකරන්නාට ආහාර බහුල වේ;
එහෙත් මවා ගත් හීන පසු පස යන්නෝ දුගී භාවයට හසු වන්නෝ ය.
20විශ්වසනීය මිනිසා, විපුල ආශිර්වාද ලබන්නේ ය;
එහෙත් ධනවත්වීමට කෙටි මං සොයන්නා දඬුවම් නො ලබා නො සිටී.
21පක්ෂවාදී වීම හොඳ නැත;
එහෙත් පාන් කැබැල්ලකටත් අපරාධ කරන මිනිස්සු සිටිති.
22මසුරු මිනිසා ධනවත්වීමට ඉක්මන් වෙයි;
එහෙත් දුප්පත්කම ඔහු ගැන බලා සිටින වග ඔහු නො දනී.
23චාටු කතාවෙන් කෙනකු වර්ණනා කරන්නා නො ව,
අන්තිමේදී පිළිගැනෙන්නේ ඔහුට තරවටුකරන්නා ය.
24තම පියාගෙන් හෝ මවගෙන් හෝ සොරාගෙන,
“ඒකෙ ඇති දොසක් නැතැ” යි කියන්නා
විනාශකයාගේ හවුල්කරුවෙකි.
25තණ්හාව ඇත්තා භේද-භින්න උපද්දයි;
එහෙත් ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්නා සඵල වෙයි.
26තමා ගැන ම විශ්වාසය තබා, කටයුතු කරන්නා අඥානයෙකි;
එහෙත් ප්‍රඥාවෙන් යුතු ව, කටයුතු කරන්නා සුරක්ෂිත ය.
27නැති බැරි අයට දෙන්නන්ට හිඟකමක් නො වන්නේ ය;
එහෙත් ඔවුන් ගැන ඇස් පියාගන්නවුන් පිට ශාප බොහෝ වෙයි.
28දුෂ්ටයින් බලයට පත් වන කල, ජනයා සැඟවෙති;
එහෙත් දුෂ්ටයින් විනාශ වූ කල, ධර්මිෂ්ඨයෝ වැඩි වෙති.
Currently Selected:
හිතෝපදේශ 28: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.