YouVersion Logo
Search Icon

හිතෝපදේශ 26

26
1ග්‍රීෂ්මයට හිම ද අස්වනු කාලයට වැසි ද මෙන්,
අඥානයාට ගෞරවය නො ගැළපේ.
2ගේ කුරුල්ලා එක තැන නො රැඳී, ඔබ මොබ ඉගිලෙන්නා සේ,
වැහි ලිහිණියා කඩිමුඩියේ පියඹා යන්නා සේ, යුතු නැති ශාපය නිසි තැනට නො වදියි.
3අශ්වයාට කසය ය, බූරුවාට කටකලියාව ය;
අඥානයාගේ පසු පසට කෙවිට ය.
4අඥානයාගේ මෝඩකමට අනුව උත්තර නො දෙන්න;
නැතහොත් ඔබත්, ඔහු හා සමාන වනු ඇත.
5අඥානයාගේ මෝඩකමට සරිලන සේ උත්තර දෙන්න;
නැතහොත් තමාත් නැණවතෙකැයි ඔහුට පෙනී යා හැක.
6අඥානයකු අත පණිවුඩ යවන්නා, තම පාදය කපා ගත්තා වැනි ය;
නැතහොත් සැහැසිකම පානය කළා වැනි ය.
7අඥානයකුගේ මුවින් නික්මෙන හිතෝපදේශය,
අප්‍රයෝජන ව එල්ලි එල්ලී තිබෙන කොර කකුලක් වැන්න.
8අඥානයකුට ගෞරව දීම,
ගල් විදින පටියේ ගලක් ගැට ගැසීම වැනි ය.
9අඥානයකුගේ මුවින් නික්මෙන හිතෝපදේශය,
බේබද්දකු අත ඇති කටු අත්තක් වැනි ය.
10අඥානයකු හෝ මග යන කවරකු හෝ කුලී වැඩට ගන්නා,
හැමට තුවාල කරන සිහි මද දුනුවායකු වැනි ය.
11බල්ලා, ඌ වමනය කළ දේට ම ආපසු හැරී යන්නාක් මෙන්,
අඥානයා යළි යළිත් එක ම මෝඩකම කරන්නේ ය.
12තමා ප්‍රඥාවන්තයෙකැයි සිතා සිටින කෙනකු ඔබ දන්නවා ද?
ඔහුට වඩා වැඩි බලාපොරොත්තුවක් අඥානයකුට ඇත.
13“අන්න පාරේ සිංහයෙක් සිටී; නිදැල්ලේ ඇවිදින සිංහයෙක් වීදියේ වෙතැ” යි
අලසයා පවසයි.
14දොර, සරනේරුව පිට ඒ අතටත්, මේ අතටත් හැරෙන්නා සේ
කම්මැලියා තම යහන පිට ඒ මේ අත පෙරැළේ.
15අලසයා කෑම පිඟානට අත දමන නමුත්
යළි එය කටට ගන්නට පවා කම්මැලි වෙයි.
16නුවණින් පිළිතුරු දෙන හත් දෙනකුටත් වඩා
තමා නුවණැත්තෙකැයි කම්මැලියා සිතයි.
17මඟදී අනුන්ගේ ගැටුමකට මැදිහත්වන්නා,
පාරේ යන බල්ලකු උගේ කන්වලින් අල්ලා ගත්තා වැනි ය.
18මාරක ගිනි පෙනෙලි හා
ඊ ගස් විදින පිස්සකු වැනි ය,
19තම අසල්වැසියා රවටමින්,
“විහිලුවටයි මා ඒක කළේ යැ” යි කියන මිනිසා.
20දර නැති වන විට ගින්න නිවෙයි;
කේලම් කියන්නෙක් නොමැති විට ගැටුම් සංසිඳේ.
21ගිනි අඟුරුවලට අඟුරුත්, ගින්නට දරත් යම් සේ ද
ආරවුල් ඇවිස්සීමට ගැටුම්කාරී මිනිසාත් ඒ වගේ ය.
22ඕපාදූප වචන මිහිරි රස කැවිල්ලකි;
එය කෙනකුගේ ඇතුළාන්තයට ම ගිලා බහී.
23සිත යට නපුර තබාගෙන මුදු වදන් තෙපලන තොල්,
රිදී ගෑ මැටි බඳුනක් වැන්න.
24කුඩුකේඩු මිනිසා තම හදෙහි ගබඩා කර ඇති වංචාව
තම තොල්වල චාටු කතාවෙන් වසා ගනී.
25ඔහුගේ කතාව මන බඳනා වුවත්, ඔහු විශ්වාස නො කරන්න;
මන්ද ඔහුගේ හදවතේ පිළිකුල්කම් හතක් ඇත.
26රැවටිල්ලෙන් ඔහු තම කුඩුකේඩුකම වසා ගත්තත්,
ඔහුගේ දුෂ්ටකම සභාවේදී හෙළි වනු ඇත.
27යමෙක් වළක් හාරන්නේ නම් ඔහු ම එහි වැටෙනු ඇත.
යමෙක් ගලක් පෙරළන්නේ නම්, එය ඔහු පිටට ම පෙරළේ.
28බොරුකාර දිවක් ඇත්තා එයින් රිදුණු අයට ද්වේෂ කරයි;
ඉව්වා බස් දොඩන මුඛය විනාශය ගෙනේ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in