YouVersion Logo
Search Icon

හිතෝපදේශ 18

18
1හුදකලා වී වෙසෙන්නා සොයන්නේ තම අභිලාෂය පමණෙකි;
හැම නිවැරදි නිගමනයකට ම එරෙහිව ඔහු නැගිටියි.
2අඥානයා අවබෝධය ලැබීමට කිසි ප්‍රසන්නතාවක් නැත;
ඔහුගේ මහත් ප්‍රීතිය තම අදහස් හුවා දැක්වීම ය.
3දුෂ්ටකම එන කල, අවඥාව ද ඒ සමඟ පැමිණේ;
ලජ්ජාව සමඟ නින්දාව ද පැමිණේ.
4මිනිසකුගේ මුවෙහි වචන ගැඹුරු ජලය ය;
එහෙත් ප්‍රඥාවේ උල්පත ගලා යන දොළ පාරකි.
5දුෂ්ටයින්ට පක්ෂපාතවීම හොඳ නැත;
අසරණයින්ගේ යුක්තිය පැහැර ගැනීම ද හොඳ නැත.
6අඥානයාගේ තොල්වලින් ඔහුට ආරවුල් ගෙනේ;
ඔහුගේ කට නිසා ඔහුට ගුටි ලැබේ.
7අඥානයාගේ කට ඔහුගේ විනාශය ය;
ඔහුගේ තොල් ඔහුගේ ජීවයට මර උගුලකි.
8ඕපාදූප වචන මිහිරි රස කැවිල්ලකි;
එය කෙනකුගේ ඇතුළාන්තයට ම ගිලා බහී.
9අලස ව වැඩෙහි යෙදෙන්නා
නාස්තිකාරයාගේ සහෝදරයා ය.
10 ස්වාමින්වහන්සේගේ නාමය ප්‍රබල බළකොටුවකි;
ධර්මිෂ්ඨ ජනයා එහි දුව යති, එහි ඔවුන් සුරක්ෂිත ය.
11ධනවතාට තම ධනය බළකොටු පුරවරයකි;
ඔහු සිතන්නේ එය උස් පවුරක් කියා ය.
12වැටී යෑමට පෙර කෙනකුගේ හද අහංකාර වෙයි;
ගෞරවයට පෙරටුව නිහතමානීත්වය පැමිණේ.
13ඇහුම්කන් දීමට පෙර උත්තර දෙන කෙනකු වේ ද,
එය ඔහුගේ මෝඩකමත්, ලජ්ජාවත් ය.
14මිනිසකුගේ ආත්මය ලෙඩ-දුක් දරා ගනියි;
එහෙත් බිඳුණු ආත්මයක් දැරිය හැකි කවරකුට ද?
15බුද්ධිමතාගේ හදවත දැනුම අත්කර ගනී;
ප්‍රඥාවතුන්ගේ කන ද දැනුම සොයයි.
16ත්‍යාගයක්, එය ප්‍රදානකරන්නාට මාර්ගය විවර කර දී,
උත්තමයන් ඉදිරියට ඔහු කැඳවාගෙන යයි.
17දෙවැන්නකු පැමිණ හරස් ප්‍රශ්න අසන තුරු,
මුලින් ම පැමිණිල්ල ඉදිරිපත් කරන්නා නිවැරදි යයි පෙනේ.
18පස ඇටය දැමීමෙන් ගැටුමක් නිමාවට පත් කර,
බලවත් විරුද්ධවාදීන් දෙපසට කරයි.
19අමනාප වූ සහෝදරයකු දිනාගැනීම බළකොටුවක් දිනා ගැනීමට වඩා අමාරු ය;
ආරවුල්, බළකොටුවක දොරටුවේ අගුල් වැනි ය.
20මිනිසකුගේ මුවේ වචනවල පලදාවෙන් ඔහුගේ උදරය පිරේ;
ඔහුගේ තොල්වල අස්වැන්නෙන් ඔහු තෘප්තිමත් කෙරේ.
21ජීවනයේ හා මරණයේ බලය දිවෙහි පවතී;
ඊට ප්‍රිය වන්නෝ එහි පල භුක්ති විඳින්නෝ ය.
22බිරිඳක සොයා ගන්නා යහපතක් සොයා ගනී;
හෙතෙම ස්වාමින්වහන්සේගෙන් ප්‍රසාදය ද ලබන්නේ ය.
23දුප්පත් මිනිසා දයාව අයැදී ය;
එහෙත් ධනවත් මිනිසා කර්කශ පිළිතුරු දෙන්නේ ය.
24යහළුවන් බොහොමයක් ඇති මිනිසා නාස්තියට පැමිණේ;
එහෙත් සහෝදරයකුට වඩා ළබැඳි මිතුරෙක් සිටී.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in