YouVersion Logo
Search Icon

හිතෝපදේශ 14

14
1ප්‍රඥාවත් කාන්තාව තම පවුල ගොඩ නගන්නී ය;
එහෙත් මෝඩ තැනැත්තී තම අත්වලින් ම එය බිඳගන්නී ය.
2සෘජු ගති පිළිපදින්නා ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ය;
එහෙත් වංක මාර්ග ඇත්තා උන්වහන්සේ හෙළා දකී.
3අඥානයාගේ කතාවේ උඩඟුකමේ වේවැල් පහර ඇත්තේ ය;
එහෙත් ප්‍රඥාවතුන්ගේ තොල් ඔවුන් මුදා ගනී.
4ගවයින් නොමැති ගව ගාල පවිත්‍ර ය;
එහෙත් සරු අස්වැන්නක් එන්නේ, ගවයාගේ ශක්තියෙනි.
5සත්‍යවාදී සාක්ෂිකරු වංචා නො කරයි;
එහෙත් ව්‍යාජ සාක්ෂිකරු බොරු වගුරයි.
6ගරහන්නා ප්‍රඥාව සොයන නමුදු, කිසිවක් සොයා නො ගනී;
එහෙත් අවබෝධය පහසුවෙන් ම බුද්ධිමතුන් වෙත පැමිණේ.
7අඥානයා වෙතින් ඈත් ව සිටින්න;
මන්ද ඔහුගේ තොල් අතරින් දැනුම හමු නො වේ.
8නුවණ ඇත්තන්ගේ ප්‍රඥාව තම මාර්ගය වටහා ගැනීම ය;
එහෙත් අඥානයින්ගේ මෝඩකම රැවටිල්ල ය.
9පාප කමාවේ පූජාවට අඥානයා සමච්චල් කරයි;
එහෙත් ඍජු ගති ඇත්තන් අතර පිළිගැනීම ඇත.
10තමාගේ සන්තාපය දන්නේ ඒ ඒ අයගේ හදවත ය;
හදවතක ප්‍රීතිය තව කෙනකුට විඳිය නො හැකි ය.
11දුෂ්ටයින්ගේ ගෙය විනාශ කර දමනු ලැබේ;
එහෙත් ඍජු ගති ඇත්තන්ගේ කූඩාරම සමෘද්ධ වේ.
12මිනිසකුට හරියයි පෙනෙන මාර්ගයක් ඇත;
එහෙත් එහි කෙළවර මරණයට මග පෙන්වයි.
13සිනාසීමේදී පවා හදේ වේදනා තිබිය හැක;
ප්‍රීතියේ කෙළවර ශෝකය විය හැක.
14හදින් පසුබටවන්නා මුළුමනින් ම ඔහුට සුදුසු ප්‍රතිවිපාක ලබයි;
සත්-පුරුෂයා ද ඔහුට සුදුසු ඉටු විපාක ලබයි.
15අනුවණයා හැම දේ ම විශ්වාස කරයි;
එහෙත් බුද්ධිමතා තමා ගන්නා හැම පියවරක් ම සැලකිල්ලට ගනියි.
16ප්‍රඥාවත් මිනිසා දේව භයින් යුතු ව නපුරෙන් වැළකී සිටී;
එහෙත් අඥානයා කලබලකාරී ව නො සැලකිලිමත් වෙයි.
17වහා කිපෙන මිනිසා මෝඩ වැඩ කරයි;
කපටි මිනිසාට අන් අය වෛර කරති.
18අනුවණයින්ගේ උරුමය මෝඩකම ය;
එහෙත් බුද්ධිමතා දැනුමේ කිරුළ ලබයි.
19දුෂ්ටයෝ යහපතුන් ඉදිරියේ වැඳ වැටෙති;
අධර්මිෂ්ඨයෝ ධර්මිෂ්ඨයින්ගේ දොරටු අබියස වැඳ වැටෙති.
20තම අසල්වැසියන් අතින් පවා දුප්පතා ඈත් කෙරේ;
එහෙත් ධනවතාට බොහෝ මිතුරන් ඇත.
21තම අසල්වැසියා හෙළා දකින්නා පව් කරයි;
එහෙත් නැති බැරි අයට උපකාර කරන්නා භාග්‍යවන්තයෙකි.
22නපුරු උපා යොදන්නෝ මංමුළා නො වෙත් ද?
එහෙත් සෙත සැලසුම් කරන්නෝ, ප්‍රේමයත්, විශ්වාසවන්ත භාවයත් හිමි කර ගනිති.
23වෙහෙසී වැඩ කිරීම් සියල්ලෙන් ලාභ ලැබේ;
එහෙත් නිෂ්ඵල කතාව දුගී භාවයට මං පාදයි.
24ප්‍රඥාවතුන්ගේ ධන සම්පත් ඔවුන්ගේ ඔටුන්න ය;
එහෙත් අඥානයින්ගේ මෝඩකමින් උපදින්නේ මෝඩකම පමණි.
25සත්‍යවාදී සාක්ෂිකරු ජීවිත ගලවයි;
එහෙත් බොරු සාක්ෂිකරු රැවටිලිකාර ය.
26 ස්වාමින්වහන්සේට භය පක්ෂපාත අයට සුරක්ෂිත බළකොටුවක් ඇත;
ඔවුන්ගේ දරුවන්ට එය රක්ෂස්ථානයකි.
27 ස්වාමින්වහන්සේට භයවීම ජීවනයේ උල්පතකි;
මරණයේ උගුල්වලින් එය කෙනකු ඉවත හරවයි.
28අධික ජනගහනය රජකුගේ තේජස වෙයි;
එහෙත් ජනගහනය නැති අධිපතියා ගරාවැටෙයි.
29ඉවසිලිවන්ත පුද්ගලයාට මහා අවබෝධයක් ඇත;
එහෙත් වහා කිපෙන්නා මෝඩකම ප්‍රදර්ශන කරයි.
30ශාන්ත වූ හදවත ගතට ජීවනය ගෙන දේ;
එහෙත් ඊර්ෂ්‍යාව ඇටකටු දිරාපත් කරයි.
31දුප්පතුන්ට පීඩාකරන්නා ඔවුන්ගේ මැවුම්කරුවාණන්ට අවඥා කරයි;
එහෙත් නැති බැරි අයට කාරුණික වන කවුරු නමුත්, උන්වහන්සේට ගෞරව කරයි.
32දුෂ්ටයා තම නපුරු ක්‍රියාව කරණකොටගෙන වැටී යයි;
එහෙත් මරණයේදී පවා ධර්මිෂ්ඨයාට පිළිසරණක් ඇත.
33බුද්ධිමතුන්ගේ හදෙහි ප්‍රඥාව ලැගුම් ගනී;
අඥානයින් අතරේ පවා එය ප්‍රකාශ වෙයි.#14:33 ග්‍රීක එහෙත් අඥානයින්ගේ හදෙහි එය ප්‍රකාශ නො වෙයි.
34ධර්මිෂ්ඨත්වය ජාතියක් උසස් කරයි;
එහෙත් පාපය කවර ජනතාවකට වුව නින්දාවකි.
35ප්‍රඥාවත් සේවකයකු ගැන රජු ප්‍රමෝදවත් වෙයි;
එහෙත් නින්දා සහගත සේවකයා පිට රජුගේ උදහස පතිත වේ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in