පිලිප්පි 4:4-20
පිලිප්පි 4:4-20 SCV
ස්වාමින්වහන්සේ තුළ නිතර ප්‍රීති වන්න. මම නැවත එය ම කියමි: ප්‍රීති වන්න! ඔබගේ ගුණ යහපත්කම හැම දෙනාට ම පෙනේවා! ස්වාමින්වහන්සේ ළං ව සිටින සේක; කිසි දෙයක් ගැන කනස්සලු නො වී, හැම දෙයකදී ම යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් යුතු ව, ස්තුති කරමින්, ඔබේ ඉල්ලීම් දෙවියන්වහන්සේ වෙත පිළිගන්වන්න. එවිට, සියලු අවබෝධ ඉක්මවා යන දෙවියන්වහන්සේගේ සාමය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබගේ හදවත් ද ඔබගේ මනස ද ආරක්ෂා කරනු ඇත. අවසන් වශයෙන් සහෝදරයිනි, සත්‍ය දේ කවරේ ද උදාර දේ කවරේ ද නිවැරදි දේ කවරේ ද පවිත්‍ර දේ කවරේ ද මනහර දේ කවරේ ද අගේ කළ යුතු දේ කවරේ ද එය විශිෂ්ට නම්, ප්‍රශංසනීය නම් ඒ දෑ ගැන සිත් යොමන්න. ඔබ කවරක් මගෙන් උගත්තේ ද කවරක් මගෙන් ලැබුවේ ද ඇසුවේ ද කවරක් මා තුළ දුටුවේ ද ඒවා ක්‍රියාවට නගන්න. එවිට සාමයේ දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක. කලකට පසු මා ගැන ඔබගේ සැලකිල්ල අලුත්වීම ගැන ස්වාමින්වහන්සේ තුළ මම බෙහෙවින් ප්‍රීති වෙමි. ඇත්තෙන් ම කවදත් ඔබ මා ගැන සැලකිලිමත් වූ නමුදු, එය පෙන්නුම් කිරීමේ අවස්ථාවක් ඔබට ලැබුණේ නැත. මට අවශ්‍යතාවක් ඇති නිසා මෙසේ කියනවා නො වේ. මන්ද කවර තත්වයකදී වුව, ලද දෙයින් සෑහීමට මම උගෙන සිටිමි. අග හිඟ ඇති ව සිටීම කවරේ ද යස ඉසුරු ඇති ව සිටීම කවරේ ද යන්න මම දනිමි. කුස පිරී සිටිය ද කුස ගිනි ව සිටිය ද සරු සාර ව හෝ අග හිඟ ව දිවි ගෙවුව ද ඒ කවර විටෙකදී වුව, සෑහී-පෑහී සිටීමේ රහස මම ඉගෙන සිටිමි. මා ශක්තිමත් කරන ක්‍රිස්තුස්වහන්සේ තුළ හැම දෙයක් ම කරන්නට මට පුළුවන. කෙසේ වෙතත්, ඔබ මගේ අපහසුතාවලදී බෙදා හදා ගැනීම හොඳ ය. තවද පිලිප්පිවරුන් වූ ඔබ දන්නා පරිදි, ශුභාරංචියේ මුල් දවස්වලදී, මා මකිදෝනියෙන් පිටත් ව යන කල, ඔබ හැර අන් එකදු සභාවක් ගැනීමෙන් හා දීමෙන් මා හා බෙදා හදා ගත්තේ නැත. මා තෙසලෝනිකයේ සිටියදී පවා මගේ අවශ්‍යතාහි දී යළි යළිත් ඔබ මට ආධාර එවූහ. මා තෑගි සොයනවා නො වේ. මා බලන්නේ ඔබේ ගිණුමට වඩ වඩා විපාක එක් කිරීමටයි. සම්පූර්ණ දීමනාවක්, ඕනෑවටත් වඩා වූ දීමනාවක් ලද්දෙමි. එපප්‍රොදිතස් අත ඔබ විසින් මවෙත එවන ලද තෑගි ලැබ මම දැන් හොඳට ම සෑහී සිටිමි. ඒවා, දෙවියන්වහන්සේට ප්‍රසන්න වූ සුවඳ පූජාවකි; පිළිගත මනා යාගයකි. මගේ දෙවියන්වහන්සේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ උන්වහන්සේගේ තේජසේ ඉසුරුමත් භාවයේ ප්‍රකාරයට ඔබගේ සියලු අවශ්‍යතා සපුරන සේක. අපගේ දෙවියන්වහන්සේට, පියාණන්වහන්සේට සදහට ම, සදාතනික ව තේජෝ මහිම වේවා! ආමෙන්.









