YouVersion Logo
Search Icon

පිලිප්පි 1:1-11

පිලිප්පි 1:1-11 SCV

ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයින් වන පාවුල් හා තිමෝති වෙතින්, පිලිප්පියෙහි සභා නායකයින් සහ උපස්ථායකයින් ඇතුළු ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සියලු ශුද්ධවන්තයින් වෙතයි. අපගේ පියාණන් වූ දෙවියන්වහන්සේගෙන් හා යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ඔබට අනුග්‍රහයත්, සාමයත් වේවා! ඔබ සිහි වන හැම විට මගේ දෙවියන්වහන්සේට මම ස්තුති කරමි. ඔබ හැම උදෙසා මගේ හැම යාච්ඤාවකදී හැම විට මා යාච්ඤා කරන්නේ ප්‍රීතියෙනි. පළමු දවසේ පටන් අද දක්වා ශුභාරංචියට ඇති ඔබේ සහභාගිත්වය ඊට හේතුවයි. ඔබ තුළ යහපත් කාර්යයකට මුලපිරූ තැනැන්වහන්සේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දවස දක්වා එය සම්පූර්ණ කරන වග ඒකාන්තයෙන් මම විශ්වාස කර ගෙන සිටිමි. මා සිර-බැඳුම් ලැබ සිටියදීත්, ශුභාරංචිය ගැන වග උත්තර කියද්දීත්, එහි සත්‍යතාව සහතික කරද්දීත් දෙවියන්වහන්සේගෙන් මා ලද අනුග්‍රහයට මා හා පංගුකාර වූ ඔබ හැම, මා හදෙහි දරා සිටින බැවින්, ඔබ හැම ගැන මා එසේ සිතීම යුතු ය. ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ම සෙනෙහසින් යුතු ව ඔබ හැමට මා කෙතරම් ආශා වෙම් ද යන්න දෙවියන්වහන්සේ ම සාක්ෂි වන සේක. මගේ යාච්ඤාව මෙයයි: දැනගැන්මෙන් හා විනිවිද දක්නා මුළු නුවණින් ඔබගේ ප්‍රේමය වඩ වඩා වැඩේවා! ඒ, වඩා උතුම් දේ කවරේදැයි වටහා ගැනීමට ඔබට හැකි වන පිණිස ය. එවිට ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා පවිත්‍ර ව, නො කැළැල් ව සිටිමින්, දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය හා ප්‍රශංසාව උදෙසා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් පැමිණෙන ධර්මිෂ්ඨකමේ පලයෙන් ඔබ සපිරෙනු ඇත.