YouVersion Logo
Search Icon

ගණන් 31

31
මිදියන්වරුන්ගෙන් පළිය ගැනීම
1 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 2“ඉශ්‍රායෙල් ජනයා උදෙසා මිදියන්වරුන්ගෙන් පළිගන්න. ඉන්පසු ඔබ, මිය ගිය ඔබේ ජනතාවට එක්වනු ඇතැ” යි පැවසූ සේක.
3එබැවින් ජනතාව ඇමතූ මෝසෙස්, “මිදියන්වරුන්ගෙන් ස්වාමින්වහන්සේගේ පළි ගැනීම ක්‍රියාත්මක කිරීමට, ඔවුන්ට එරෙහිව යුද්ධයට යන්නට, ඔබ අතරින් ඇතැම් දෙනකු සන්නද්ධ කරන්න. 4හැම ඉශ්‍රායෙල් ගෝත්‍රයකින් මිනිසුන් දහසක් සටනට යවන්නැ” යි පැවසී ය. 5එබැවින් ඉශ්‍රායෙල් පෙළපත් අතරින් එක් ගෝත්‍රයකින් දහස බැගින් සන්නද්ධ මිනිසුන් දොළොස් දහසක්, යුද්ධයට ඉදිරිපත් කරන ලදී. 6මෝසෙස්, එක් ගෝත්‍රයකින් දහස බැගින් වූ එම හමුදාව යුද්ධයට පිටත් කළේ ය. එලෙයාසර්ගේ පුත් පූජක පීනෙහාස් ශුද්ධස්ථානයේ උපකරණ ද සංඥා සඳහා හොරණෑ ද රැගෙන, ඒ සමඟ ගියේ ය.
7 ස්වාමින්වහන්සේ අණ කළ පරිදි ඔවුහු මිදියන්වරුන්ට එරෙහිව සටන් වැද, හැම පිරිමියකු ම මරා දැමූහ. 8ඔවුන් අතින් මැරුම් කෑවුන් අතර එවී, රෙකෙම්, සූර්, හූර් සහ රෙබා යන මිදියන් රජවරු පස්දෙනා ද වූහ. ඔවුහු බෙයෝර්ගේ පුත් බාලාම් ද කඩු පහර දී මරා දැමූහ. 9ඉශ්‍රායෙල්වරු මිදියන් කාන්තාවන් හා දරුවන් ද මිදියන්වරුන්ගේ ගව, එළු, බැටළු, රංචු සියල්ල හා සියලු බඩු බාහිරාදිය ද කොල්ලයක් කොට අල්ලා ගත්හ. 10මිදියන්වරුන් පදිංචි ව සිටි සියලු නගර හා ඔවුන්ගේ කඳවුරු සියල්ල ද ඔවුහු ගිනිබත් කළහ. 11මිනිසුන් සහ සතුන් ඇතුළු ව කොල්ලකා ගත් දෑ හා පැහැර ගත් දෑ රැගත් ඔවුහු 12මෝවබ් තැන්නේ, යෙරිකෝවෙන් මෙපිට යොර්දාන් ගඟබඩ වූ තම කඳවුරෙහි සිටි මෝසෙස් ද පූජක එලෙයාසර් ද ඉශ්‍රායෙල් ප්‍රජා හමුව ද වෙත තම සිරකරුවන් සමඟ කොල්ලකා ගත් හා පැහැර ගත් දෑ ගෙන ආහ.
13මෝසෙස්, පූජක එලෙයාසර් හා ජනතාවගේ නායකයින් සියල්ලෝ ද ඔවුන් හමුවන පිණිස, කඳවුරෙන් පිටතට ගියහ. 14එවිට යුද්ධයෙන් පසු පෙරළා පැමිණි දහසේ හා සියයේ සේනාංකවල සෙන්පතීන් වන හමුදා නිලධාරීන් සමඟ කිපුණු මෝසෙස්,
15ඔවුන් අමතමින්, “මේ සියලු ස්ත්‍රීනට ජීවත් වන්නට නුඹලා ඉඩ හැරියා ද? 16බාලාම්ගේ උපදෙස් අනුව යමින්, පෙයෝර්හි සිද්ධියේදී ඉශ්‍රායෙල් ජනයා ස්වාමින්වහන්සේ වෙතින් ඉවත හැරවීමට හේතුව වූයේ මොවුන් ම ය. ස්වාමින්වහන්සේගේ ජනයා මත ව්‍යසනයක් පැමිණියේ එමඟිනි. 17එබැවින් දැන් මේ සියලු ම පිරිමි ළමයින් මරා දමන්න. කන්‍යාවක නො වූ හැම ස්ත්‍රියක ද මරා දමන්න. 18එහෙත් කන්‍යා ළඳුන් නො මරා ඔබට ඉතිරි කර ගන්න.
19“යමකු මැරූ අය ද මරා දමනු ලැබූවකු ස්පර්ශ කළ අය ද යන සියල්ලන් හත් දවසක් කඳවුරෙන් පිටත සිටිය යුතු ය. ඔබත්, ඔබ විසින් අල්ලා ගනු ලැබූ අයත් තුන් වන දවසේ හා හත් වන දවසේ තමන් ම පවිත්‍ර කර ගත යුතු ය. 20හමින් ද එළු ලොමින් ද ලීයෙන් ද යුතු භාණ්ඩ හැමකක් සේ ම, ඔබේ හැම ඇඳුමක් ම පවිත්‍ර කර ගන්නැ” යි පැවසී ය.
21ඉන්පසු පූජක එලෙයාසර්, සටනට ගිය හේවායින් අමතමින්, “ස්වාමින්වහන්සේ මෝසෙස්ට දුන් නීතියට අනුව මෙසේ කළ යුතුයි. 22රන්, රිදී, ලෝකඩ, යකඩ, බෙලෙක්, ඊයම් 23සහ ගින්නට ඔරොත්තු දෙන හැම දේ ගින්නෙහි ලා, ගත යුතුයි. එවිට ඒවා පවිත්‍ර වේ. පිරිසිදු කිරීමේ වතුරින් ද ඒවා පවිත්‍ර කළ යුතුයි. ගින්නට ඔරොත්තු නො දෙන දෑ එම ජලයෙහි ලා, ගත යුතුයි. 24හත් වන දවසේ ඔබේ ඇඳුම් සෝදාගන්න. ඉන්පසු ඔබ පවිත්‍ර වේ. අනතුරුව ඔබට කඳවුර තුළට ආ හැකි යැ” යි පැවසී ය.
කොල්ලය බෙදා ගැනීම
25 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 26“අල්ලා ගනු ලැබූ ජනයා හා සතුන් යන සැවොම ගණන් ගත යුත්තේ, ඔබත්, පූජක එලෙයාසර් හා ජනතාවගේ පිය පෙළපත්වල නායකයින් විසිනි. 27කොල්ලයෙන් ගත් දෑ සටනට සහභාගි වූ යුද්ධ භටයින් ද සෙසු ජනයා ද අතරේ බෙදන්න. 28යුද්ධයේදී සටන් කළ යුද්ධ භටයින් වෙතින් ස්වාමින්වහන්සේට තුටු පඬුරක් වශයෙන් වෙන් කළ යුත්තේ, සටනේදී පැහැර ගනු ලැබූ ජනයාගෙන් හා ගව, බූරු, එළු, බැටළු යන සතුන්ගෙන් පන්සියයකට එක බැගිනි. 29ඔවුන්ගේ කොටසින්, එම තුටු-පඬුරු ස්වාමින්වහන්සේගේ කොටස වශයෙන් පූජක එලෙයාසර්ට දෙන්න. 30ඉශ්‍රායෙල් ප්‍රජාවගේ අඩ කොටසින්, මිනිස් හෝ ගව, බූරු, එළු, බැටළු යන සතුන්ගෙන් හෝ පනහට එක බැගින් ගෙන, ස්වාමින්වහන්සේගේ මණ්ඩපයේ කටයුතු බාර ලෙවීවරුනට දෙන්නැ” යි පැවසූ සේක. 31එබැවින් මෝසෙස් හා පූජක එලෙයාසර්, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි කළහ.
32යුද්ධ භටයින් ගත් දෑට අමතරව, ඉතිරි ව තිබූ කොල්ලය, බැටළුවන් හයලක්ෂ හැත්තෑපන් දහසකින් ද 33ගවයින් හැත්තෑදෙදහසකින් ද 34බූරුවන් හැටඑක්දහසකින් ද 35පිරිමියකුගේ පහස නො ලද කන්‍යාවන් තිස්දෙදහසකින් ද යුතු විණි.
36යුද්ධයේදී සටන් වැදුනවුන්ගේ අඩ-කොටස:
බැටළුවන් තුන්ලක්ෂ තිස්හත්දහස් පන්සියයකි. 37එයින් ස්වාමින්වහන්සේට වූ පඬුර හයසිය හැත්තෑපස් දෙනෙකි.
38ගවයින් තිස්හයදහසකි. එයින් ස්වාමින්වහන්සේට වූ තුටු පඬුර හැත්තෑ දෙදෙනෙකි.
39බූරුවන් තිස්දහස් පන්සියයකි. එයින් ස්වාමින්වහන්සේට වූ පඬුර හැටඑක් දෙනෙකි.
40ජනයා දාසය දහසකි. එයින් ස්වාමින්වහන්සේට වූ පඬුර තිස් දෙදෙනෙකි.
41 ස්වාමින්වහන්සේගේ කොටස වශයෙන් එම පඬුර මෝසෙස් එලෙයාසර්ට දුන්නේ, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිද්දෙනි.
42සටනට ගියවුන්ගේ කොටසෙන් මෝසෙස් වෙන් කළ ඉශ්‍රායෙල් ජනයාට අයත් අඩ-කොටස, 43එනම් ප්‍රජාවගේ අඩ-කොටස: බැටළුවන් තුන්ලක්ෂ තිස්හත්දහස් පන්සිය දෙනෙකි. 44ගවයින් තිස්හයදහසකි. 45බූරුවන් තිස්දහස් පන්සියයකි. 46ජනයා දාසය දහසකි. 47මෝසෙස්, ස්වාමින්වහන්සේ තමාට අණ කළ පරිදි ඉශ්‍රායෙල් ජනයාගේ අඩ කොටසින් පුද්ගලයින් හැම පනස් දෙනකුගෙන් හා සතුන් පනසකගෙන් එකකු බැගින් ගෙන, ස්වාමින්වහන්සේගේ මණ්ඩපයේ වගකීම් දරන ලෙවීවරුනට දුන්නේ ය.
48එවිට හමුදා ඒකක බාර නිලධාරීන් වූ සියයේ සේනාංක හා දහසේ සේනාංක සෙන්පතීහු මෝසෙස් වෙත ගොස්, 49ඔහු අමතමින්, “ඔබේ සේවකයින් වන අපි, අප යටතේ සිටින හේවායින් ගණන් කළෙමු. එක් කෙනකුවත් අඩු වී නැත. 50එබැවින් ස්වාමින්වහන්සේ අබියස පාප වන්දි නිවාරණයක් ඉටු කරනු පිණිස, අප එකිනෙකා අත්කර ගත් අත්පටි, වළලු, පේරැස් මුදු, අරුංගල් හා මාල යන රන් අබරණ ස්වාමින්වහන්සේට තුටු පඬුරක් කොට ගෙනාවෙමු” යි කීහ.
51මෝසෙස් ද පූජක එලෙයාසර් ද රනින් කළ එම නිමි බඩු සියල්ල පිළිගත්හ. 52සියයේ සේනාංක හා දහසේ සේනාංක සෙන්පතීන් වෙතින් ස්වාමින්වහන්සේට පඬුරක් කොට, මෝසෙස් හා පූජක එලෙයාසර් පිළිගැන් වූ රත්රන් සියල්ලෙහි බර, ෂෙකෙල් දාසයදහස් හත්සිය පනහකි. 53හැම හේවායෙක් ම තමාට කොල්ලයක් ගෙන තිබිණි. 54මෝසෙස් ද පූජක එලෙයාසර් ද සියයේ සේනාංක හා දහසේ සේනාංක සෙන්පතීන්ගෙන් රත්රන් පිළිගෙන, ස්වාමින්වහන්සේ ඉදිරියෙහි ඉශ්‍රායෙල් ජනයා උදෙසා සිහි කිරීමක් වශයෙන්, ඒවා හමුවීමේ කූඩාරම තුළට ගෙන ආහ.

Currently Selected:

ගණන් 31: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ගණන් 31