YouVersion Logo
Search Icon

ගණන් 21

21
අරාද්හි විනාශය
1ඉශ්‍රායෙල්වරුන් අතාරිම්ට යන මාවත ඔස්සේ එන වග ඇසූ නෙගෙබ්හි#21:1 නෙගෙබ්හි එනම් දකුණු දිශාවෙහි විසූ කානානි ජාතික, අරාද්හි රජු, ඉශ්‍රායෙල්වරුනට පහර දී, ඔවුන්ගෙන් ඇතැම් දෙනකු අල්ලා ගත්තේ ය. 2එවිට ඉශ්‍රායෙල්වරු ස්වාමින්වහන්සේට බාරයක් වෙමින්, “ඔබවහන්සේ මේ ජනයා අපේ අත්වලට අල්ලා දෙන සේක් නම්, අපි ඔවුන්ගේ නගර සහමුලින් ම විනාශ කරන්නෙමු” යි ශපථ කළහ. 3ඉශ්‍රායෙල්ගේ අයැදීමට සවන් දුන් ස්වාමින්වහන්සේ ඔවුන් අතට, කානානිවරුන් හසුකර දුන් සේක. ඔවුහු කානානිවරුන් ද ඔවුන්ගේ නගර ද මුළුමනින් විනාශ කළහ. එබැවින් එම ස්ථානය හොර්මා#21:3 හොර්මා එනම් විනාශය නමින් හැඳින්විණි.
ලෝකඩ සර්පයා
4ඉශ්‍රායෙල්වරු ඒදොම් රට අයින දිගේ යන පිණිස, හෝර් කන්දෙන් පිටත් ව, රතු මුහුදු මාර්ගය ඔස්සේ ගමන් ගත්හ. එහෙත් අතර මගදී වඩ වඩා නො ඉවසිලිමත් වූ ජනයා, 5දෙවියන්වහන්සේට එරෙහිව හා මෝසෙස්ට එරෙහිව කතා කරමින්, “මේ පාළුකරයේ මැරී යන්නට ඊජිප්තුවෙන් පිටතට නුඹ අප ගෙන ආවේ මොකට ද? මෙහි රොටි නැහැ; වතුර නැහැ; වැදගැම්මකට නැති මේ කෑම අපට දැන් අප්පිරියා වෙලා” යි කීහ.
6එවිට ස්වාමින්වහන්සේ ඔවුන් අතරට ගිනි වැනි සර්පයින් එවූ සේක. ජනයාට උන් දෂ්ට කළෙන්, ඉශ්‍රායෙල්වරුන් බොහෝ දෙනෙක් එයින් මළහ. 7එබැවින් මෝසෙස් වෙත පැමිණි ජනයා, “ස්වාමින්වහන්සේටත්, ඔබටත් එරෙහිව කතා කිරීමෙන්, අපි පව් කළා. අප වෙතින් මේ සර්පයින් පහ කර දමන ලෙස ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්නැ” යි ඉල්ලූහ. එවිට මෝසෙස් ජනතාව උදෙසා යාච්ඤා කළේ ය.
8 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ගිනි වැනි සර්පයකු සාදා, රිටක් මත තබන්න. දෂ්ට කරනු ලැබූ කවරෙක් වුව, ඒ දෙස බලන්නේ නම්, ඔහු ජීවත් වෙතැ” යි පැවසූ සේක. 9එවිට මෝසෙස් ලෝකඩ සර්පයකු සාදා, රිටක් මත එය තැබී ය. එවිට, සර්පයකු විසින් දෂ්ට කරනු ලැබූ කවරකු වුව, ලෝකඩ සර්පයා දෙස බැලුවේ ද, ඔහු ජීවත් විය.
මෝවබ් දක්වා ගමන
10ඉශ්‍රායෙල්වරු දිගට ම ගමන් කොට, ඔබොත්හි කඳවුරු ගැසූහ. 11ඉන්පසු ඔබොත් වෙතින් පිටත් වූ ඔවුහු, නැගෙනහිර දෙස මෝවබ් රටට මුහුණ ලා පාළුකරයේ ඉයේ-අබාරීම්හි කඳවුරු ගසා ගත්හ. 12එතැනින් පිටත් වූ ඔවුහු සෙරෙද් මිටියාවතේ කඳවුරු ගැසූහ. 13එතැනින් පිටත් වූ ඔවුහු අමෝරි දේශය තෙක් විහිදෙන පාළුකරයේ අර්ණොන් ගඟ පසෙක කඳවුරු බැන්දහ. මෝවබ් හා අමෝරිවරුන් අතර මෝවබ් දේශ සීමාව අර්ණොන් ය. 14ස්වාමින්වහන්සේගේ යුද්ධ පොතෙහි මෙසේ කියැවෙන්නේ එබැවිනි.
“සූෆාහි වාහේබ් හා ගිරි කඳුරු,
අර්ණොන් නදී හා 15ගිරි කඳුරු බෑවුම්,
මෝවබ් දේසේ මායිම් ඔස්සේ,
ආර් පුර වාස භූමි දක්වා විහිදේ.”
16එතැනින් ඔවුහු බෙයේර් වෙත ගමන් කළහ. “ජනයා එක් රැස් කරවන්න. මම ඔවුන්ට වතුර දෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ මෝසෙස්ට පැවසූ ළිඳ එයයි.
17එවිට ඉශ්‍රායෙල්වරු මෙම ගීය ගැයූහ.
“උල්පත් නගන්න, එම්බා ළිඳ!
ගයන්න ගී ඒ ගැන.
18ජයකොන්තය හා සැරයටිවලින්
ජනතා උත්තමයින් තැනූ,
කුමාරයින් හෑරූ මේ ළිඳ ගැන.”
ඉන්පසු ඔවුහු පාළුකරයේ සිට මත්තානා වෙත ද 19මත්තානා සිට නහලීයෙල් වෙත ද නහලීයෙල් සිට බාමොත් වෙත ද 20බාමොත් සිට මෝවබ් තැන්න වෙත ද ගියහ. පිස්ගා කඳු මුඳුන ද ඉන් ඔබ්බෙහි පාළුකරය ද එතැනට පෙනේ.
සීහොන් හා ඕග් පැරදවීම
21ඉශ්‍රායෙල්වරු අමෝරිවරුන්ගේ රජු වූ සීහොන් වෙත පණිවුඩකරුවන් යවමින්;
22“ඔබේ රට හරහා, ඔබ්බට යෑමට අපට ඉඩ දෙන්න. අප යම් කෙතකට හෝ මිදි වත්තකට හෝ හැරෙන්නේවත්, ළිඳකින් වතුර බොන්නේවත් නැත. ඔබේ රට පසු කර යන තෙක්, රජ මාවත දිගේ අපි යන්නෙමු” යි කීහ.
23එහෙත් සීහොන්, තම රට මැදින් යන්නට ඉශ්‍රායෙල්වරුනට ඉඩ දුන්නේ නැත. තම මුළු හමුදාව රැස් කර වූ ඔහු, ඉශ්‍රායෙල්ට එරෙහිව පාළුකරයට ගමන් ගත්තේ ය. ඔහු, යහස් වෙත ළඟා වී, ඉශ්‍රායෙල්වරුන් හා සටන් වැදුණේ ය. 24එහෙත් ඉශ්‍රායෙල්වරු කඩු මුවහතින් ඔහු වනසා, අර්ණොන් නදිය සිට යබ්බොක් නදිය දක්වා ඔහුගේ දේශය අල්ලා ගත්හ. එහෙත් ඒ, අම්මොන්වරුන්ගේ දේශ සීමාව තෙක් පමණි. ඔවුන්ගේ දේශ සීමාව දැඩි ආරක්ෂා සහිත විය. 25ඉශ්‍රායෙල්වරු, හෙෂ්බෝන් හා ඒ වටා වූ සියලු ගම්මාන ඇතුළු ව අමෝරිවරුන්ගේ නගර සියල්ල අල්ලාගෙන, ඒවායේ පදිංචි වූහ. 26හෙෂ්බෝන්, අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්ගේ පුරවරයයි. ඔහු කලින් සිටි මෝවබ් රජුට එරෙහිව සටන් වැද, අර්ණොන් දක්වා වූ ඔහුගේ බිම් සියල්ල පැහැරගෙන තිබිණි.
27කිවියන් මෙසේ කියන්නේ එබැවිනි.
“හෙෂ්බෝන් වෙත එන්න. එය යළි ගොඩ නැංවේවා.
සීහොන්ගේ නගරය පිළිසකර කෙරේවා.
28“හෙෂ්බෝන් වෙතින් ගිනි නික්ම,
සීහොන් පුරයේ සිට ඇවිළ,
මෝවබ්හි ආර් දවා දමා,
අර්ණොන්හි උස් තැන්වල ජනයා වනසා දැමේ.
29එම්බා මෝවබ්! නුඹට දුක් පැමිණේ;
කෙමොෂ් අදහන්නෙනි, තෙපි විනාශ වෙති.
ඔහු තම පුතුන් පලා යන්නන් මෙන් ද
තම දූවරුන් දාසියන් මෙන් ද
අමෝරි රජු වූ සීහොන් වෙත පාවා දී ඇත.
30“එනමුදු අපි උන් පැරදුවෙමු.
දීබොන් දක්වා මුළු හෙෂ්බෝන් විනාශ වී ඇත.
මෙදෙබා තෙක් පැතිරෙන නොෆා දක්වා
අපි උන් බිඳ හෙළුවෙමු.”
31මෙසේ ඉශ්‍රායෙල්වරු අමෝරිවරුන්ගේ දේශයේ පදිංචි වූහ.
32යාසේර්හි ඔත්තු බැලීමට මෝසෙස් ඔත්තුකරුවන් යැවී ය. ඉන්පසු ඉශ්‍රායෙල්වරු යාසේර් වටා වූ ගම්මාන අල්ලාගෙන, ඒවායේ විසූ අමෝරිවරුන් පලවා හැරියහ. 33ඉන්පසු ඔවුහු බාෂාන් දෙසට හැරී, ඒ මාවත ඔස්සේ ගමන් කළහ. බාෂාන්හි රජු වූ ඕග් ද ඔහුගේ මුළු හමුදාව ද එද්රෙයිහි දී ඔවුන් හා යුධ වැදීමට පිටත් ව ආහ.
34 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඔහුට භය නො වන්න. ඔහුත්, ඔහුගේ මුළු හමුදාවත්, ඔහුගේ දේශයත් මම ඔබේ අතට හසුකර දුනිමි. හෙෂ්බෝන්හි රජකම් කළ, අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්ට ඔබ කළ දේ ම මොහුටත් කරන්නැ” යි පැවසූ සේක.
35එබැවින්, ඔවුන්ගෙන් කිසිවකුත් ඉතිරි නො වන ලෙස ඒ රජු ද ඔහුගේ පුතුන් හා ඔහුගේ මුළු හමුදාව ද ගසා හෙළූ ඉශ්‍රායෙල්වරු ඔහුගේ දේශය අත්පත් කර ගත්තෝ ය.

Currently Selected:

ගණන් 21: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ගණන් 21