YouVersion Logo
Search Icon

ගණන් 19

19
පවිත්‍ර කිරීමේ ජලය
1 ස්වාමින්වහන්සේ මෝසෙස් හා ආරොන් ඇමතූ සේක්, 2ස්වාමින්වහන්සේ අණ කර ඇති නීතියේ නියමය මෙයයි: කිසි දින වියගහ නො දැරූ, ලපයක් හෝ කැළලක් හෝ නැති, රතු වැස්සියක ඔබ වෙත ගෙනෙන්නැයි ඉශ්‍රායෙල්වරුනට කියන්න. 3පූජක එලෙයාසර්ට ඌ දෙන්න. කඳවුරෙන් පිටතට ගෙන යනු ලැබ, පූජකයා ඉදිරියේ ඌ මැරිය යුතු ය. 4එවිට පූජක එලෙයාසර් උගේ ලේ ස්වල්පයක් තම ඇඟිල්ලෙන් ගෙන, හමුවීමේ කූඩාරම ඉදිරිපස දෙසට හත් වරක් ඉසිය යුතු ය. 5ඔහු බලා සිටියදී, වැස්සියගේ හම ද මස ද ලෙය හා ගොම ද පිලිස්සිය යුතු ය. 6පූජකයා දේවදාර ලී ද හිසොප් හා තද රතු ලොම් ද ගෙන, දැවෙන වැස්සිය වෙත වීසි කළ යුතු ය. 7ඉන්පසු පූජකයා තම ඇඳුම් සෝදාගෙන, දිය නා ගත යුතු ය. ඉන්පසු කඳවුරට ආපසු ඒමට ඔහුට පුළුවන. එහෙත්, සවස් වන තුරු ඔහු අපවිත්‍ර ව සිටියි. 8වැස්සී පුලුස්සන අය ද තම ඇඳුම් සෝදා, දිය නා ගත යුතු ය. ඔහු ද සවස් වන තෙක් අපවිත්‍ර ව සිටියි.
9“ඉන්පසු පවිත්‍ර කෙනකු වැස්සියගේ අළු එකතු කොට, කඳවුරෙන් පිටත පවිත්‍ර තැනක ඒවා තැන්පත් කළ යුතු ය. ඉශ්‍රායෙල් ජන සමාජය උදෙසා පවිත්‍ර කිරීමේ ජලය සඳහා උපයෝගී කර ගැනීමට ඒවා තිබිය යුතු ය. ඒවා, පවින් පවිත්‍ර වීම සඳහා ය. 10වැස්සියගේ අළු එකතු කරන තැනැත්තා ද තම ඇඳුම් සෝදා ගත යුතු ය. සවස් වන තෙක්, ඔහු ද අපවිත්‍ර ව සිටියි. ඉශ්‍රායෙල්වරුනට හා ඔවුන් අතරේ වෙසෙන විදෙස්සනට යන දෙගොල්ලට ම මෙය සදාතනික නියෝගයක් වෙයි.
11“යමකුගේ මළ සිරුරක් ස්පර්ශ කරන කවරකු වුව, හත් දවසක් අපවිත්‍ර ව සිටියි. 12තුන් වන දවසේ හා හත් වන දවසේ ඔහු පවිත්‍ර වීමේ ජලයෙන් තමා පවිත්‍ර කර ගත යුතු ය. එවිට ඔහු පවිත්‍ර වනු ඇත. එහෙත්, තුන් වන දවසේ හා හත් වන දවසේ ඔහු තමා පවිත්‍ර කර නො ගන්නේ නම්, ඔහු පවිත්‍ර වන්නේ නැත. 13යමෙක් අනෙකකුගේ මළ සිරුරක් ස්පර්ශ කොට, ඉන්පසු තමා පවිත්‍ර කර නො ගනී නම්, ඔහු ස්වාමින්වහන්සේගේ මණ්ඩපය දූෂ්‍ය කරයි. ඉශ්‍රායෙල් ජනයා වෙතින් ඒ තැනැත්තා සිඳ දැමිය යුතු ය. පවිත්‍ර වීමේ ජලය ඔහු මත නො ඉස්ස බැවින් ඔහු අපවිත්‍ර ය. ඔහුගේ අපවිත්‍රතාව ඔහු වෙත ම පවතී.
14“යමකු කූඩාරමක් තුළ මිය ගිය කල, බල පැවැත්වෙන නීතිය මෙසේ ය; එම කූඩාරමට ඇතුළු වන අය ද ඒ තුළ සිටින අය ද හත් දවසක් අපවිත්‍ර වේ. 15කඩ වැස්මකින් තොර ව, විවර ව ඇති හැම බඳුනක් ද අපවිත්‍ර වේ.
16“කඩුවෙන් මැරුම් කෑ කෙනකුගේ මිනියක් හෝ ස්වාභාවික ව මළ කෙනකුගේ මිනියක් හෝ මළ මිනියක ඇටකටු හෝ සොහොනක් හෝ යමෙක් එළිමහන් තැනකදී ස්පර්ශ කළොත්, හත් දවසක් ඔහු අපවිත්‍ර වේ.
17“මෙසේ අපවිත්‍ර වූ අය උදෙසා දැවූ පවිත්‍ර වීමේ පූජාවේ අළු ස්වල්පයක් ගෙන, බඳුනකට දමා ඊට අලුත් වතුර වත් කරන්න. 18ඉන්පසු පවිත්‍ර කෙනකු හිසොප් ඉත්තක් ගෙන, එම ජල බඳුනෙහි බහා, එම කූඩාරම හා එහි සියලු බඩු බාහිරාදිය ද එහි සිටි අය ද පිට ඒ දිය ඉසිය යුතු ය. මිනී ඇටකටුවක් හෝ සොහොනක් හෝ මරා දමන ලද කෙනකුගේ මිනියක් හෝ ස්වාභාවික ව මළ කෙනකුගේ මිනියක් හෝ ස්පර්ශ කළ අයට ද ඔහු ඒ දිය ඉසිය යුතු ය. 19පවිත්‍ර පුද්ගලයා තුන් වන දවසේ හා හත් වන දවසේ අපවිත්‍ර අයට ඒ දිය ඉසිය යුතු ය. හත් වන දවසේ ඔහු ඒ අය පවිත්‍ර කළ යුතු ය. පවිත්‍ර කරනු ලැබූ අය, තම ඇඳුම් සෝදා, දිය නා ගත යුතු ය. එදින සවස ඔහු පවිත්‍ර වේ. 20එහෙත් අපවිත්‍ර ව සිටින කෙනෙක් තමා පවිත්‍ර කර නො ගනී නම්, ජන සමාජයෙන් ඔහු සිඳ දමනු ලැබිය යුතු ය. මන්ද ඔහු ස්වාමින්වහන්සේගේ ශුද්ධස්ථානය අපවිත්‍ර කර ඇති බැවිනි. පවිත්‍ර වීමේ ජලය ඔහු පිට නො ඉසින ලද බැවින් ඔහු අපවිත්‍ර ය. 21මෙය ඔවුන්ට සදාතනික නියෝගයකි.
“පවිත්‍ර වීමේ ජලය ඉසින තැනැත්තා ද තම ඇඳුම් සෝදා ගත යුතු ය. පවිත්‍ර වීමේ ජලය ස්පර්ශ කරන කවරෙක් වුව සවස දක්වා අපවිත්‍ර ව සිටිති. 22අපවිත්‍ර කෙනකු ස්පර්ශ කරන කවර දෙයක් වුව අපවිත්‍ර වේ. ඒ දේ ස්පර්ශ කරන අය ද සවස දක්වා අපවිත්‍ර ව සිටිතැ” යි පැවසූ සේක.

Currently Selected:

ගණන් 19: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ගණන් 19