YouVersion Logo
Search Icon

නෙහෙමි 6

6
තව තවත් විරෝධතා
1කැඩුමකින්, බිඳුමකින් තොර ව මා පවුර යළි ඉදිකර ඇති වග සන්බල්ලට්ට ද ටෝබීයාට ද අරාබි ජාතික ගෙෂෙම්ට ද අපගේ සෙසු සතුරන්ට ද සැල විය. එහෙත් ඒ දක්වා මා දොරටුවල දොරවල් සවි කර තිබුණේ නැත. 2සන්බල්ලට් හා ගෙෂෙම් මට පණිවුඩ එවමින්, “එන්න; ඕනෝ තැන්නේ ගම්මානයකදී#6:2 ගම්මානයකදී හෙවත් කෙෆීරිම්හි දී අපි එකට මුණගැසෙමු” යි කියා එවූහ.
එහෙත් ඔවුන් අදහස් කළේ මට අනතුරු කරන්නට ය. 3එබැවින් මම මෙසේ කියමින්, පණිවුඩකරුවන් ඔවුන් වෙත යැවුවෙමි: “මා මහත් කාරියකට අත ගසා සිටින බැවින් එන්නට නො හැකියි. මේ වැඩය හැර ඔබ වෙත එන්නට මේ වැඩේ නැවැත්විය යුත්තේ කුමට ද?” 4ඒ එක ම පණිවුඩය ඔවුන් හතර වතාවක් ම මා වෙත එවූ අතර ඒ හැම විට මා දුන්නේ ද එක ම පිළිතුරකි.
5ඉන්පසු පස් වන වතාවේදී සන්බල්ලට් එම පණිවුඩය ම තම මෙහෙකරු අත මා වෙත එවී ය. විවෘත ලිපියක් ඔහු අත විය. 6එහි මෙසේ ලියා තිබිණි:
“ඔබත්, යුදෙව්වනුත් කැරලි ගසන්නට සැලසුම් කරන වගත්, ඔබ පවුර ඉදි කරන්නේ ඒ නිසා ම වගත්, ජාතීන් අතරේ ආරංචි වී ඇත. ගෂ්මු#6:6 ගෂ්මු එනම් ගෙෂෙම් ද එසේ පවසයි. මේ ආරංචිවලට අනුව ඔබ ඔවුන්ගේ රජු වන්නට යන වග ද සැලයි. 7තවද ‘යූදාහි රජකු සිටී!’ යයි ඔබ ගැන යෙරුසලම තුළ ප්‍රකාශ කරන්නට දිවැසිවරුන් පවා සිටුවා ඇතැයි සැලයි; මේ පුවත රජුට ද සැලවනු ඇත; එබැවින් එනුව අපි එක් ව සාකච්ඡා කරමු” යි යන්න ය.
8එවිට මම, “ඔබ පවසන කිසිවක් සිදු වී නැත; ඔබ එය සිතින් මවා ගත් එකකි” යි ඔහු වෙත පිළිතුරු යැවීමි.
9මන්ද ඔවුන් සැමට ඕනෑ කළේ, “ඔවුන්ගේ අත්වලින් ඒ වැඩේ නවතීවි. ඒ කාරිය නො කෙරේවි” යි කියමින්, අප බිය ගන්වන්නට ය.
එහෙත් අහෝ දෙවියන්වහන්ස, දැන් මගේ දෑත් සවිමත් කළ මැනව.
10දිනක් මම මෙහෙතබෙල්ගේ පුත්, දෙලායාගේ පුත්, ෂෙමායාගේ නිවසට ගියෙමි. ඔහු සිටියේ තම නිවසට සීමා වෙලා ය. ඔහු මා අමතමින්, “අපි දේව මාලිගය ඇතුළත දෙවියන්වහන්සේගේ ගෘහයේදී මුණගැසෙමු. අපි දේව මාලිගයේ දොරවල් වසා ගනිමු. මොකද ඔවුන් ඔබ මරන්නට එනවා. රැයේදී ඔවුන් ඔබ මරන්නට එනවා” යි පැවසී ය.
11එහෙත් මා කීවේ, “මා වැනි මිනිසකු පැන දුවන්න ඕනෑ ද? ජීවිතය බේරා ගැනීමට මා වැනි මිනිසකු දේව මාලිගය තුළට යා යුතු ද? මා යන්නේ නැත!” යනුවෙනි. 12ඔහු එවා තිබුණේ දෙවියන්වහන්සේ නො වන වගත්, ඔහු මට එරෙහිව දිවැස් වැකි පැවසුවේ ටෝබීයා හා සන්බල්ලට් ඔහු කුලියට ගත් නිසා වගත් මට තේරුම් ගියේ ය. 13ඔහු කුලියට ගන්නා ලද්දේ මා භය ගන්වා, එලෙස කිරීමෙන් මා ලවා පව් කරවන පිණිසත්, එමඟින් මට අවනම්බු කරන්නට මට නරක නාමයක් ගාවනු පිණිසත් ය.
14අහෝ මගේ දෙවියන්වහන්ස, ටෝබීයා හා සන්බල්ලට් කළ මේ දෑට අනුව ඔවුන් සිහි කළ මැනව; නෝවදියා දිවැසිවරිය ද මා භය ගන්වන්නට උත්සාහ දැරූ සෙසු දිවැසිවරුන් ද සිහි කළ මැනව. 15මෙසේ එලූල් මස විසිපස්වනදා, දින පනස් දෙකකදී පවුර සම්පූර්ණ කෙරිණි.
පවුරේ වැඩ නිම වීම
16අපගේ සියලු සතුරන් මේ ගැන ඇසූ කල, අවට වූ සියලු ජාතීහු භය වූහ. ඔවුන්ගේ ආත්ම විශ්වාසය නැති විය. මන්ද මේ වැඩය සම්පූර්ණ කරන ලද්දේ අපගේ දෙවියන්වහන්සේගේ උපකාරය ඇතුව වග ඔවුහු වටහා ගත්හ.
17තවද ඒ දවස්වල යූදාහි වංශවත්හු ටෝබීයාට බොහෝ ලිපි යැවූහ. ටෝබීයාගෙන් ද ඔවුන්ට ලිපි ලැබිණි. 18යූදාහි බොහෝ දෙනෙක් දිවුරුමකින් ඔහු හා බැඳී සිටියහ. මන්ද ඔහු ආරාගේ පුත් ෂෙකනියාට බෑණා ව සිටියේ ය. ඔහුගේ පුත් යෙහෝහානාන්, බෙරෙකියාගේ පුත් මෙෂුල්ලාම්ගේ දියණිය ආවාහ කර ගෙන සිටියේ ය. 19ඔවුහු දිගට ම ඔහුගේ හොඳ වැඩ මට කියා දෙමින් සිටියහ. මා පැවසූ දේත් ඔවුහු ඔහුට දැන්වූහ. තවද මා භය ගන්වන පිණිස ටෝබීයා මට ලිපි එවී ය.

Currently Selected:

නෙහෙමි 6: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in