නෙහෙමි 13
13
නෙහෙමියාගේ අවසන් ප්‍රතිසංස්කරණ
1ඒ දවසේ ජනයා අසා සිටියදී මෝසෙස්ගේ පොත හඬ නගා කියවන ලදී. අම්මොන් හෝ මෝවබ් ජාතික කිසිවකු කිසි කලෙක දෙවියන්වහන්සේගේ එක්රැස්වීමට ඇතුල් නො විය යුතු යැයි එහි ලියා තිබෙනු හමු විණි. 2මන්ද ඔවුහු කෑමත්, වතුරත් රැගෙන, ඉශ්‍රායෙල් මුණගැසෙන්නට නො පැමිණියා සේ ම ඔවුන් පිටට ශාපයක් ගෙනෙන්නට බාලාම් ද කුලියට ගත්හ. (එසේ වුවත් අපේ දෙවියන්වහන්සේ එම ශාපය ආශිර්වාදයකට පෙරළූ සේක.) 3ජනයා මේ නීතිය ඇසූ කල, විදෙස්සන්ගෙන් පැවත එන සියල්ලන් ඉශ්‍රායෙල් වෙතින් වෙන් කළහ.
4මින් පෙර අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩා කාමර බාර ව සිටියේ පූජක එලියාෂීබ් ය. ඔහුට ටෝබීයා හා නෑකමක් තිබුණේ ය. 5ඔහු ටෝබීයාට විශාල කාමරයක් දී තිබිණ. එය කලින් භාවිත කර තිබුණේ ධාන්‍ය පූජා, සුවඳ ද්‍රව්‍ය හා දේව මාලිග භාණ්ඩ ද ලෙවීවරුන්ට, ගායනා කරන්නන්ට සහ දොරටු පාලකයන්ට නියම කරන ලද ධාන්‍ය, අලුත් මිදි යුෂ සහ තෙල්වල දසයෙන් කොටස ද පූජකයින් සඳහා වූ සම්මාදම් ද ගබඩා කිරීමට ය.
6එහෙත් මේ සියල්ල සිදුවන අතරේ, මා යෙරුසලමේ සිටියේ නැත. බබිලෝනි රජු වූ අර්තාෂස්තාගේ තිස්දෙවන අවුරුද්දේ මම රජු වෙත ගියෙමි. ටික කලකට පසු ඔහුගෙන් අවසර ගෙන මම, 7ආපසු යෙරුසලමට පැමිණියෙමි. දෙවියන්වහන්සේගේ ගෘහයේ මළුවේ වූ කාමරයක් ටෝබීයාට දීමෙන් එලියාෂීබ් කර තිබූ නපුර ගැන මට දැනගන්නට ලැබුණේ එහිදී ය. 8මම බෙහෙවින් කැලඹී, ටෝබීයාගේ ගේ-බඩු සියල්ල කාමරයෙන් පිටත විසී කළෙමි. 9කාමර පවිත්‍ර කරන්නට නියෝග දුන් මම ඉන්පසු දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩත්, ධාන්‍ය පූජා හා සුවඳ ද්‍රව්‍යයත් ඒ කාමරවලට ආපසු ගෙනාවෙමි.
10ලෙවීවරුන්ට නියමිත කොටස් ඔවුන්ට දී නැති වගත්, මෙහෙයයේ වගකීම දැරූ සියලු ලෙවීවරුන් හා ගායනා කරන්නන් තම තමන්ගේ කෙත්වලට ආපසු ගිය වගත් මට දැනගන්නට ලැබිණි. 11එබැවින් මම නිලධාරීන්ට තරවටු කර, ඔවුන්ට කතා කොට, “දෙවියන්වහන්සේගේ ගෘහය නො සලකා සිටින්නේ මන්දැ?” යි ඇසූ මම ඉන්පසු ඔවුන් එකට කැඳවා, ඔවුන්ගේ තනතුරුවලට ඔවුන් පත් කළෙමි.
12සියලු යූදාවරු ධාන්‍ය, අලුත් මිදි යුෂ හා තෙල් ආදියෙන් දසයෙන් කොටස් ගබඩා ගෙවලට ගෙනාහ. 13මම පූජක ෂෙලෙමියා ද ලේකම් වූ සාදෝක් ද පෙදායා නම් ලෙවීයකු ද ඔවුන්ගේ සහායකයා වශයෙන් මත්තනියාගේ පුත් සක්කූර්ගේ පුත් හානාන් ද ගබඩා ගෙවල් සඳහා පත් කළෙමි. මන්ද ඔවුහු විශ්වසනීය අය හැටියට සලකනු ලැබූහ. ඔවුන්ගේ කාරිය වූයේ තම සහෝදරයන්ට සැපයීම් බෙදාහැරීම ය.
14අහෝ මගේ දෙවියන්වහන්ස, මේ කාරණය ගැන මා සිහි කළ මැනව. මගේ දෙවියන්වහන්සේගේ ගෘහය හා එහි සේවාවන් සඳහා මා විසින් ඉතා විශ්වසනීය ව කර ඇති දෑ සිහි නැති නො කළ මැනව.
15ඒ දවස්හි යූදා මිනිසුන් සබත් දිනවල මිදි යන්ත්‍ර පාගන හැටිත්, ධාන්‍ය ගෙනැවිත් ඒවා බූරුවන් පිට පටවන හැටිත්, තවද, මිදි යුෂ, මිදි, අත්තික්කා හා වෙනත් හැම ආකාර බර පැටවීම් කරන හැටිත් මම දිටිමි. තවද ඔවුන් මේ සියල්ල යෙරුසලමට ගෙනෙන්නේ සබත් දවසේ ය. එබැවින් ඒ දවසේ කෑම වෙළඳාම් කිරීමට එරෙහිව මම ඔවුන්ට තදින් අවවාද කළෙමි. 16තීර් සිට පැමිණි, යෙරුසලමේ වාසය කළ තීර්හි මිනිස්සු මසුන් ද සකල විධ වෙළඳ බඩු ද ගෙනෙමින්, සබත් දවසේ යෙරුසලම තුළ ඒවා යූදා ජනයාට විකුණූහ. 17මම යූදා වංශවතුනට තරවටු කරමින්, “මොකක් ද මේ ඔබ කරන දුෂ්ට වැඩේ? සබත් දවස කෙලෙසන්නේ මන්ද? 18ඔබේ පියවරුනුත් කළේ මේවා ම නො වේ ද? අපේ දෙවියන්වහන්සේ අප පිටත්, මේ පුරවරය පිටත් මේ ව්‍යසන සියල්ල ගෙනාවේ එනිසා නො වේ ද? දැනුදු නුඹලා සබත කෙලෙසමින් ඉශ්‍රායෙල්ට එරෙහිව තවත් උදහස අවුස්සමින් සිටී යැ” යි පැවසීමි.
19සබතට පෙර යෙරුසලම් දොරටු පිටට අඳුර වැටුණු වහාම, දොරවල් වසා තබන්නට අණ කළ මම සබත නිම වන තුරු ඒවා විවර නො කරන හැටියට නියෝග කළෙමි. සබත් දවසේ කිසි බරක් ඇතුළට ගෙන යා නො හැකි වන පරිදි මම, මගේ මිනිසුන් දොරටුවල සිටෙවුවෙමි. 20එහෙත් වෙළෙන්දෝ හා සකල විධ බඩු විකුණන්නෝ වතාවක්, දෙකක් යෙරුසලමෙන් පිටත රාත්‍රිය ගත කළහ. 21එහෙත් මම ඔවුන්ට අනතුරු අඟවමින්, කතා කොට, “නුඹලා පවුරින් එහා පැත්තේ රාත්‍රිය ගත කරන්නේ මොකද? නුඹලා නැවත එහෙම කළහොත් මම නුඹලා අල්ලා ගන්නෙමි” යි කීවෙමි. එතැන් පටන් ඔවුන් සබත් දවසේ පැමිණියේ නැත. 22සබත් දවස ශුද්ධ ලෙස පවත්වන පිණිස පවිත්‍ර වී, පැමිණ, දොරටු රැකවල් කරන්නැයි මම ලෙවීවරුන්ට නියෝග කළෙමි.
අහෝ මගේ දෙවියන්වහන්ස, මෙය ද මා උදෙසා සිහි කළ මැනව. ඔබගේ නොමියෙන ප්‍රේමයේ ප්‍රකාරයට මට දයා පෑ මැනව.
23තවද එදවස්වල යූදා මිනිසුන් අෂ්දෝද්, අම්මොන් හා මෝවබ් කතුන් විවාහ කර ගෙන සිටිනු මම දිටිමි. 24ඔවුන්ගේ දරුවන්ගෙන් අඩක් අෂ්දෝද් භාෂාව හෝ විජාතීන්ගේ භාෂාවක් හෝ කතා කළ නමුදු යුදෙව් භාෂාව කතා කරන්නට නො දත්හ. 25මම ඔවුන්ට තරවටු කර, ඔවුන්ට ශාප කළෙමි. මම ඇතැම් දෙනකුට පහර දී, ඔවුන්ගේ හිසකේ උගුලා, “නුඹලා, නුඹලාගේ දූවරුන් ඔවුන්ගේ පුතුන්ට නො දිය යුතු ය. ඔවුන්ගේ දූවරුන් නුඹලාගේ පුතුන්ට හෝ නුඹලාට නො ගත යුතු යැ” යි දෙවියන්වහන්සේගේ නාමයෙන් ඔවුන්ගෙන් දිවුරුම් ගතිමි. 26“ඉශ්‍රායෙල් රජු වූ සාලමොන් පව් කළේ මෙවැනි විවාහයන් කර ගත් නිසා නො වේ ද? ඔහු හා සමාන රජකු බොහෝ ජාතීන් අතරේවත් සිටියේ නැත. ඔහුගේ දෙවියන්වහන්සේ ඔහුට ප්‍රේම කළ සේක්, දෙවියන්වහන්සේ මුළු ඉශ්‍රායෙල් සඳහා ඔහු රජකමට පත් කළ සේක. එහෙත් විදෙස් කතුන් පාපයට ඔහු පෙලඹ වූහ. 27දැන් ඔබත් මේ මුළු භයානක දුෂ්ටකම කර, විදෙස් කාන්තාවන් ආවාහ කර ගැනීමෙන්, අපගේ දෙවියන්වහන්සේට එරෙහිව ද්‍රෝහිවීම අප විසින් ඇසිය යුතු ද?”
28උත්තම පූජක එලියාෂීබ්ගේ පුත් යෝයාදාගේ පුතුන්ගෙන් කෙනකු හොරොනීය සන්බල්ලට්ට බෑණා වී සිටි නිසා, මම මා වෙතින් ඔහු පන්නා දැමීමි.
29ඔවුන් සිහි කළ මැනව අහෝ මගේ දෙවියන්වහන්ස, මන්ද ඔවුන් පූජක තනතුර හා පූජකයින්ගේ හා ලෙවීවරුන්ගේ ගිවිසුම දූෂ්‍ය කර ඇත.
30එබැවින් මම විදේශීය වූ හැම දෙයක් වෙතින් පූජකයින් හා ලෙවීයයන් පවිත්‍ර කර ඔවුන් එකිනෙකාගේ කාරිය කරන පිණිස ඔවුන්ගේ නිල කටයුතුවලට ඔවුන් පත් කළෙමි. 31නියමිත කාලවලට දර ද ප්‍රථම පල ද සැපයීමේ විධි විධාන මම සැලසීමි.
අහෝ මගේ දෙවියන්වහන්ස, ප්‍රසාදයෙන් යුතු ව මා සිහි කළ මැනව.
Currently Selected:
නෙහෙමි 13: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.