මීකා 4:6-13
මීකා 4:6-13 SCV
ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: “ඒ දවසේ මම කොරුන් එක් රැස් කරන්නෙමි. රටින් නෙරපනු ලැබූවන් ද මවිසින් පීඩාවට පමුණුවනු ලැබූවන් ද මම එක් රැස් කරන්නෙමි. ඉතිරි ස්වල්ප දෙනකු බවට මම කොරවූවන් පත් කරන්නෙමි; නෙරපනු ලැබූවන් බලවත් ජාතියක් කරන්නෙමි. ඒ දවසේ පටන් සදහට ම ස්වාමින්වහන්සේ සියොන් කන්දේ සිට ඔවුන්ට රජකම් කරන සේක. එම්බා මගේ රංචුවේ මුර ටැඹ, එම්බා සියොන් දියණියගේ කන්ද, පළමු ආධිපත්‍යය ඔබට යළි ස්ථාපිත කෙරේ. යෙරුසලම් දියණිය වෙත රජකම පැමිණේ.” ඔබ දැන් මහ හඬින් හඬන්නේ ඇයි? ඔබට රජකු නැති නිසා ද? ගැබිනියකගේ ප්‍රසවයේදී මෙන් ඔබට වේදනාව අල්ලා ඇත්තේ, ඔබගේ ගුරු-උපදේශකයා විනාශ වූ නිසා ද? අහෝ සියොන් දියණිය, ප්‍රසවයේදී ගැබිනියක සේ වේදනාවෙන් ඇඹරෙන්න. මන්ද, පිටත කඳවුරු ගසාගනු පිණිස, ඔබ දැන් පුරයෙන් පිට වී යන්නට ඕනෑ ය. ඔබ බබිලෝනියට යනු ඇත. එහිදී ඔබ මුදා ගනු ලබති. එහිදී ඔබේ සතුරන් අතින් ස්වාමින්වහන්සේ ඔබ ගලවා ගනු ඇත. එහෙත් දැන්, බොහෝ ජාතීන් ඔබට එරෙහිව රැස් කෙරේ. ඔවුහු මෙසේ කියති: “ඇය දූෂ්‍ය වුණා වේ! අපේ දෑස් සියොන දෙස සතුටින් බලා හිඳීවා!” එහෙත්, ස්වාමින්වහන්සේගේ සිතුවිලි ඔවුන් දන්නේ නැත. උන්වහන්සේගේ සැලසුම් ඔවුනට නො වැටහේ. මන්ද, පාගන කමතට ගොයම් මිටි සේ, ඔවුන් එකතු කර ගෙනැවිත් ඇත්තේ උන්වහන්සේ ය. “එම්බා සියොන් දියණිය, නැගිට පාගන්න, මම නුඹට යකඩ අං දෙන්නෙමි; මම නුඹට ලෝකඩ කුර ද දෙන්නෙමි. ඒවායින් නුඹ බොහෝ ජාතීන් කැබලි කර කඩනු ඇත.” ඔවුන්ගේ අයුතු වාසි, ඔබ ස්වාමින්වහන්සේට කැප කරනු ඇත. ඔබ, ඔවුන්ගේ වස්තුව, මුළු පොළොවේ ස්වාමින්වහන්සේට කැප කරනු ඇත.





