YouVersion Logo
Search Icon

මතෙව් 27:45-54

මතෙව් 27:45-54 SCV

හය වන පැයේ සිට නව වන පැය දක්වා දේශය මුළුල්ලේ අන්ධකාරයක් විය. නව වන පැයේදී පමණ යේසුස්වහන්සේ උස් හඬින් මොර ගසමින්, “ඒලී, ඒලී, ලාමා සබක්තානි?” පැවසූ සේක. එහි අරුත “මගේ දෙවියන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද?” යනුයි. ඒ ඇසූ එතැන සිටි ඇතමෙක්, “මේ මිනිසා එලියාට හඬ ගසනවා යැ” යි කීහ. ඔවුන්ගෙන් කෙනෙක් වහා දිව ගොස් මූදු හත්තක් ගෙන, මිදි යුෂ-විනාකිරෙන් එය පොඟවා, දණ්ඩක අමුණා යේසුස්වහන්සේට බොන්නට ළං කළේ ය. එවිට සෙසු අය, “ඔහොම ඉන්න දෙන්න; ඔහු ගලවන්නට එලියා ඒදැයි බලමු” යි කීහ. යළිත් වරක් උස් හඬින් මොර ගැසූ යේසුස්වහන්සේ තම ආත්මය බාර දුන් සේක. එවේලේ මෙන්න! දේව මාලිගයේ තිරය ඉහළ සිට පහළට දෙකඩ ව පැළිණි. පොළොව කම්පනය විය. පර්වත දෙදරුම් කැවිණ. සොහොන් විවර වී, සැතපී සිටි බොහෝ ශුද්ධවතුන්ගේ සිරුරු නැගිටුවන ලදහ. ඔවුහු තම සොහොන්වලින් පිටතට අවුත්, යේසුස්වහන්සේගේ නැගිටීමෙන් පසු, ශුද්ධ නගරයට ඇතුල් ව බොහෝ දෙනකුට පෙනුණහ. යේසුස්වහන්සේ මුර කරමින් සිටි සියයේ සේනාධිපතියා හා ඔහු සමඟ සිටි අය පොළෝ කම්පාවත්, සිදු වූ අන් සියල්ලත් දුටු කල, බයින් වෙළී, “නිසැකයෙන් ම ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ම වී යැ!” යි පැවසූහ.