YouVersion Logo
Search Icon

මතෙව් 23:27-39

මතෙව් 23:27-39 SCV

“දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! නුඹලා සුදු හුණු ගෑ සොහොන් කොත් වගේ ය. පිටතින් ඒවා අලංකාරයට පෙනේ. එහෙත් ඒවායේ ඇතුළත ඇත්තේ, මළ මිනිසුන්ගේ ඇටකටු හා සකල අපවිත්‍ර දෑ ය. නුඹලාත් එලෙස මිනිසුන් හමුවේ පිටත පෙනුමින් ධර්මිෂ්ඨයින් ය; එහෙත් නුඹලාගේ ඇතුළාන්තය කුහකකමින් හා නොපණත්කමින් පිරිලා ය. “දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! නුඹලා දිවැසිවරුන්ගේ සොහොන් කොත් ගොඩ නගා, ධර්මිෂ්ඨයින්ගේ මිනීවළවල් සරසා, ‘අපේ පියවරුන්ගේ කාලයේ අප සිටියා නම්, දිවැසිවරුන්ගේ ලේ හැලුමට අප ඔවුන් හා සම්බන්ධ නො වන්නෙමු’ යි කියති. මෙසේ ඒ දිවැසිවරුන් මැරූ මිනී මරුවන්ගෙන් පැවත එන්නෝ නුඹලා ම බැව් එයින් සාක්ෂි දරති. නුඹලාගේ පියවරුන්ගේ පාප මිම්මේ අඩුව සම්පූර්ණ කරනු! “සර්පයිනි! පොළොං පැටවුනි! නිරයට හෙළනු ලැබීමේ දඬුවමින් නුඹලා ගැලවෙන්නේ කෙසේ ද? එබැවින් මෙන්න මම දිවැසිවරුන් ද නැණවතුන් ද ගුරුවරුන් ද නුඹලා වෙත එවමි. නුඹලා ඔවුන්ගෙන් ඇතමකු මරා දමනු ඇත; ඇතමකු කුරුසිපත් කරනු ඇත. සෙසු අයට නුඹලාගේ සිනගෝගවලදී තළා, නගරයෙන් නගරයට ඔවුන් ලුහුබඳිනු ඇත. මෙසේ, ධර්මිෂ්ඨ ආබෙල්ගේ ලේ පටන් ශුද්ධස්ථානයටත්, පූජාසනයටත්, අතරදී නුඹලා විසින් මරා දමන ලද බරාකියාගේ පුත් සෙකරියාගේ ලේ දක්වා, පොළෝ තලය මත මරා දමන ලද සියලු ධර්මිෂ්ඨයින්ගේ ලේවල වරද නුඹලා පිටට එනු ඇත. සැබවින් ම මා ඔබට කියන්නේ, මේ හැම දෙයක් ම මේ පරම්පරාව පිටට ම පැමිණෙනු ඇත කියායි. “අහෝ! යෙරුසලම, යෙරුසලම, දිවැසිවරුන් මරා දමන්නා වූ, නුඹ වෙත එවනු ලැබූවන්ට ගල් ගසන්නා වූ නුඹ, කිකිළියක ඇගේ පැටවුන් ඇගේ පියාපත් යටට එකතු කර ගන්නා සේ, නුඹේ දරු කැල එකතු කරන්නට මම කී වරක් නම් ආශා වූවෙම් ද? එහෙත් ඔබ කැමති වුණේ නැත. මෙන්න! ඔබේ නිවාසය පාළුවට හැර දමලා. මා ඔබට කියන්නේ, ‘ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!’ කියා ඔබ කියන තුරු, යළි ඔබ මා දකින්නේ නැත.”

Free Reading Plans and Devotionals related to මතෙව් 23:27-39