මතෙව් 21:18-32
මතෙව් 21:18-32 SCV
උදයේ ආපසු පුරවරයට එද්දී උන්වහන්සේට කුස ගිනි දැනිණි. මග අසල වූ අත්තික්කා ගහක් දුටු උන්වහන්සේ එතැනට ගිය නමුදු, එහි කොළ මිස, අන් කිසිවක් නො වී ය. එවිට උන්වහන්සේ, “යළි කිසි දින පල දැරීමක් නුඹට නො වෙත්වා!” යි ඒ ගසට කී සේක. එකෙණෙහි ම ඒ ගස වියළී ගියේ ය. ඒ දුටු ගෝලයෝ ඉන් විස්මිත ව, “එකපාරට මේ අත්තික්කා ගහ වියළුණේ කෙසේ දැ?” යි ඇසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙන සේක්, “සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබට ඇදහිල්ල ඇත්නම්, සැක නො කරන්නේ නම්, ඔබට කළ හැකි වන්නේ, මේ අත්තික්කා ගහට කළ දේ පමණක් නො වේ. මේ කන්දට කතා කොට, ‘ඉදිරී ගොස්, මුහුදේ වැටෙනු’ යි කීව ද එය සිදු වනු ඇත. ඇදහිල්ල ඇතුව, යාච්ඤාවෙන් ඔබ ඉල්ලන කවර දෙයක් වුව ඔබට ලැබෙනු ඇතැ” යි පැවසූ සේක. යේසුස්වහන්සේ දේව මාලිගාවට ඇතුළු ව, උගන්වමින් සිටියදී, ජනයාගේ නායක පූජකවරු හා වැඩිහිටියෝ, උන්වහන්සේ වෙත පැමිණ, “ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරි බලයකින් ද? මේ බලය ඔබට දුන්නේ කවුරු දැ?” යි ඇසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මමත් ඔබෙන් එක ප්‍රශ්නයක් අහන්නම්; ඔබ පිළිතුරු දුන්නොත්, මා මේ දේවල් කරන්නේ කවර අධිකාරිත්වයකින් ද කියා මම ඔබට කියන්නම්; යොහන්ගේ බව්තීස්මය කොහෙන් පැමිණි එකක් ද? ස්වර්ගයෙන් ද? නැති නම් මිනිසුන්ගෙන් දැ?” යි ඇසූ සේක. එවිට ඔවුහු තම තමන් අතරේ සාකච්ඡා කරමින්, “ ‘ස්වර්ගයෙනි’ යි කීවොත්, ‘එසේ නම් ඔබ ඔහු විශ්වාස නො කළේ මන්දැ?’ යි ඔහු අපෙන් අසනු ඇත. ‘මිනිසුන්ගෙනි’ යි කියා අප කීවොත්, සමූහයාට අප බය ය; මන්ද යොහන්, දිවැසිවරයකු බවට සියලු ජනයා තුළ පිළිගැනීමක් ඇතැ” යි කීහ. එබැවින් ඔවුහු යේසුස්වහන්සේට පිළිතුරු දෙමින්, “අප දන්නේ නැතැ” යි කීහ. එවිට උන්වහන්සේ ද, “මා මේ දේවල් කරන්නේ කවර අධිකාරි බලයක් පිට ද කියා මාත් ඔබට කියන්නේ නැතැ” යි කී සේක. “ඔබ සිතන්නේ කුමක් ද? එක් මිනිසකුට පුතුන් දෙදෙනකු සිටියා. ඔහු පළමු වැන්නා වෙත ගොස්, ‘පුත, ගොස් අද මිදි වත්තේ වැඩ කරන්නැ’ යි කීවා. “ඔහු පිළිතුරු දෙමින්, ‘මට බැරි යැ’ යි කී නමුත්, පසුව ඔහු සිත වෙනස් කර ගෙන, එහි ගියා. “පියා අනෙක් පුතු වෙත ගොස් ඒ දේ ම කීවා. ‘හොඳමයි මම යන්නම් ස්වාමිනි’ යි කීවත්, ඔහු ගියේ නැහැ. “තම පියාගේ කැමැත්ත ඉටු කළේ මේ දෙදෙනාගෙන් කවරෙක් දැ?” යි ඇසූ සේක. “පළමු වැන්නා” යි ඔවුහු පිළිතුරු දුන්හ. යේසුස්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “සැබවින් ම මා ඔබට කියන්නේ, අයබදුකරුවන් හා වෙසඟනන් ඔබට පළමුවෙන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වන බවයි. මන්ද යොහන් ධර්මිෂ්ඨකමේ මාවත පෙන්වමින් ඔබ වෙත ආයේ ය. ඔබ, ඔහු විශ්වාස කළේ නැත. එහෙත් අයබදුකරුවෝ හා වෙසඟනෝ ඔහු විශ්වාස කළහ. එය දුටු පසු වුව ද සිත වෙනස් කර ගෙන, ඔබ ඔහු විශ්වාස කළේ නැත.





