YouVersion Logo
Search Icon

මතෙව් 19:13-30

මතෙව් 19:13-30 SCV

එකල, ජනයා දරුවන් කැඳවාගෙන ආවේ, උන්වහන්සේ ඔවුන් පිට අත් තබා යාච්ඤා කරන පිණිස ය. එහෙත් ගෝලයෝ ජනයාට තරවටු කළහ. එහෙත්, “දරුවන්ට මා වෙත එන්නට ඉඩ හරින්න; ඔවුන් වළක්වන්න එපා; මන්ද ස්වර්ග රාජ්‍යය අයිති මෙබඳු වූවන්ට යැ” යි පැවසූ යේසුස්වහන්සේ ඔවුන් පිට අත් තැබූ සේක්, එතැනින් නික්ම ගිය සේක. එවිට මෙන්න! යේසුස්වහන්සේ වෙත පැමිණි එක් මිනිසෙක්, “ගුරුතුමනි, සදාතන ජීවනය ලබා ගනු පිණිස මා කවර යහපතක් කළ යුතු දැ?” යි ඇසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “යහපත කවරේදැයි මගෙන් අහන්නේ ඇයි? යහපත් ව සිටින්නේ එක් තැනැත්තාණන් කෙනකු පමණි. ජීවනයට ඇතුළු වීමට වුවමනා නම්, ආඥා පිළිපදින්නැ” යි කී සේක. “කවර ඒවා දැ?” යි ඔහු ඇසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘මිනී නො මරනු, පරදාර සේවනය නො කරනු, සොරකම් නො කරනු, බොරු සාක්ෂි නො දෙනු, ඔබේ පියාට හා මවට ගරු කරන්න, ඔබට මෙන් ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න’ යන වශයෙනි” යි පැවසූ සේක. “ඒ සියල්ල මම පිළිපැද ඇත්තෙමි” යි පැවසූ තරුණයා, “මට තව අඩු කුමක් දැ?” යි ඇසී ය. යේසුස්වහන්සේ ඔහු අමතමින්, “සම්පූර්ණ වීමට ඔබට ඕනෑ නම්, ගොස්, ඔබ සතු දෑ විකුණා දිළිඳුන්ට දෙන්න. ඔබට ස්වර්ගීක ධනය අත්වනු ඇත. ඉන්පසු අවුත්, මා අනුගමන කරන්නැ” යි පැවසූ සේක. ඒ ඇසූ තරුණයා සොවට පත් ව, ඉවත් ව ගියේ ය. මන්ද ඔහු මහ ධනයක් හිමි ව සිටියේ ය. එවිට යේසුස්වහන්සේ තම ගෝලයින් අමතමින්, “සැබවින් ම මා ඔබට කියන්නේ, ධනවතකුට ස්වර්ග රාජ්‍යයට ඇතුළු විය හැක්කේ, මහත් අසීරුවෙන් පමණක් බවයි. නැවතත් මා ඔබට කියන්නේ, ධනවතකුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා, ඔටුවකුට ඉඳිකටු සිදුරින් රිංගා යෑම පහසු යැ” යි පැවසූ සේක. මේ ඇසූ ගෝලයෝ අතිශයෙන් විස්මිත ව, “එසේ නම් ගැලවෙන්නට හැක්කේ කවරකුට දැ?” යි ඇසූහ. එවිට ඔවුන් දෙස බැලූ යේසුස්වහන්සේ, “මිනිසුන්ට මෙය කොහෙත් ම කළ නො හැකි ය. එහෙත් දෙවියන්වහන්සේට සියල්ල පුළුවනැ” යි පැවසූ සේක. එවිට පේතෘස් පිළිතුරු දෙමින්, “බලන්න, අප හැම දෙයක් ම අත්හැර, ඔබ අනුගමන කළා; එහෙයින් මොනවද අපට ලැබෙන්නේ?” යි ඇසී ය. යේසුස්වහන්සේ ඔවුන්ට කියන සේක්, “සැබවින් ම මා ඔබට කියන්නේ, සියල්ල අලුත් කිරීමේදී, මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය තේජසේ සිංහාසනයේ හිඳ ගන්නා කල, මා අනුව ආ ඔබත් ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ දොළොස විනිශ්චය කරමින්, සිංහාසන දොළහක් මත හිඳ ගන්නා බවයි. තවද ගේ-දොර, සහෝදර-සහෝදරියන්, මව හෝ පියා හෝ දරුවන් හෝ ඉඩ කඩම් හෝ මගේ නාමය උදෙසා අත් හළ හැම කෙනකුට ම ඒ හා සිය ගුණයක් ලැබෙනු ඇත. සදාතන ජීවනය ද උරුම වනු ඇත. එහෙත් ප්‍රථමයින් වන බොහෝ දෙනෙක් අන්තිමයින් ද අන්තිමයින් බොහෝ දෙනෙක් ප්‍රථමයින් ද වනු ඇත.

Free Reading Plans and Devotionals related to මතෙව් 19:13-30