YouVersion Logo
Search Icon

ලෙවී 27

27
බාර-හාර පිළිබඳ නීති
1 ස්වාමින්වහන්සේ යළි මෝසෙස් ඇමතූ සේක්, 2“ඉශ්‍රායෙල් ජනයා අමතා, මෙසේ පවසන්න: ‘ජීවත් වන කෙනකුගේ වටිනාකමට අදාළ ව යමකු, ස්වාමින්වහන්සේට විශේෂ බාරයක් වන්නේ නම්, 3විසිවන විය පටන් හැටවන විය දක්වා වූ පිරිමියකු සඳහා වන වටිනාකම, ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව රිදී ෂෙකෙල් පනහක් ලෙස තක්සේරු කරන්න. 4එම වයසේ කාන්තාවක සඳහා, ෂෙකෙල් තිහක් ලෙස තක්සේරු කරන්න. 5පස් වන විය පටන් විසිවන විය දක්වා වූ පුරුෂයකු සඳහා, ෂෙකෙල් විස්සක් ද ස්ත්‍රියක සඳහා, ෂෙකෙල් දහයක් ද යන වශයෙන් තක්සේරු කරන්න. 6එක්මස් විය පටන් පස්වස් විය දක්වා පුරුෂ පක්ෂයෙන් රිදී ෂෙකෙල් පහක් ද ස්ත්‍රී පක්ෂයෙන් රිදී ෂෙකෙල් තුනක් ද යන වශයෙන් තක්සේරු කරන්න. 7හැටවන විය ඉක්ම වූ පුරුෂයකු සඳහා ෂෙකෙල් පහළොවක් ද ස්ත්‍රියක සඳහා ෂෙකෙල් දහයක් ද යන වශයෙන් තක්සේරු කරන්න. 8බාරය වූ අය, නියමිත මිල ගෙවීමට අපොහොසත් දුගියෙක් වේ නම්, තක්සේරුවට ලක් විය යුත්තා, පූජකයා ඉදිරියට පැමිණ විය යුතු ය. එවිට, බාරය වූ අයට දැරිය හැකි පරිදි පූජකයා ඔහු වෙනුවෙන් තක්සේරුවක් කරනු ඇත.
9“ ‘ඔහු බාරය වූයේ ස්වාමින්වහන්සේට පූජාවක් වශයෙන් පිළිගත හැකි වූ සතකු නම්, ස්වාමින්වහන්සේට වෙන් කළ එම සතා ශුද්ධ බවට පත් වේ. 10ඔහු, ඌ මාරු නො කළ යුතු ය. හොඳ එකකු වෙනුවට නරක එකකුවත්, නරක එකකු වෙනුවට හොඳ එකකුවත් මාරු නො කළ යුතු ය. එසේ කළහොත්, බාර වූ සතාත්, මාරු කළ සතාත් යන සතුන් දෙදෙනා ම ශුද්ධ බවට පත් වේ. 11ඔහු බාර වූයේ ස්වාමින්වහන්සේට පූජාවක් වශයෙන් පිළිගත නො හැකි අපවිත්‍ර සතකු නම්, එම සතා පූජකයා ඉදිරියට පැමිණ විය යුතු ය. 12පූජකයා උගේ හොඳ, නරක තීරණය කර, ඌ තක්සේරු කරනු ඇත. පූජකයාගේ තක්සේරුව උගේ වටිනාකම වෙයි. 13උගේ අයිතිකරුට ඌ මුදා ගැනීමට වුවමනා නම්, උගේ වටිනාකමට තවත් පහෙන් කොටසක් එකතු කළ යුතු ය.
14“ ‘යමකු තම නිවස ස්වාමින්වහන්සේට ශුද්ධ දෙයක් ලෙස කැප කළහොත්, පූජකයා එහි හොඳ, නරක තීරණය කර, එය තක්සේරු කළ යුතු ය. පූජකයාගේ තක්සේරුව, එහි වලංගු වටිනාකම වෙයි. 15එසේ තම නිවස කැප කරන්නා යළි එය මුදා ගන්නේ නම්, එහි වටිනාකමට තවත් පහෙන් පංගුවක් එක් කළ යුතු ය. එකල එම නිවස යළි ඔහුට ම හිමි වේ.
16“ ‘යමකු තම පාරම්පරික ඉඩකඩම්වලින් කොටසක් ස්වාමින්වහන්සේට කැප කරන්නේ නම්, එහි වටිනාකම තක්සේරු කළ යුත්තේ, එහි වගා කළ හැකි බීජ ප්‍රමාණය අනුව යව බීජ හෝමෙරයක්#27:16 හෝමෙරයක් එනම් බුසල් 6ක් හෝ ලීටර් 220ක් පමණ සඳහා රිදී ෂෙකෙල් පනහක් වශයෙනි. 17ඔහු තම ඉඩම කැප කරන්නේ, ජුබිලි වසරේ නම්, සම්පූර්ණ තක්සේරු අගය ම වලංගු ය. 18එහෙත්, ඔහු එය කැප කරන්නේ ජුබිලි වසරට පසුව නම්, පූජකයා ඊළඟ ජුබිලි වසර තෙක් ඉතිරි ව ඇති අවුරුදු ගණනට අනුව එහි වටිනාකම තක්සේරු කළ යුතු ය. එවිට එහි මිල, තක්සේරු කළ වටිනාකමට වඩා අඩු වෙයි. 19එසේ තම ඉඩම කැප කළ අය එය මුදා ගැනීමට කැමති නම්, එහි වටිනාකමට තවත් පහෙන් පංගුවක් එකතු කර, ගෙවිය යුතු ය. එවිට එම ඉඩම යළි එහි මුල් අයිතිකරුට පැවරේ. 20එහෙත් ඔහු එය මුදා ගන්නේ නැති නම් හෝ එය අන් කෙනකුට විකුණා ඇත්නම් හෝ කිසි කලෙක එය මුදා ගත නො හැකි ය. 21ජුබිලි වසරේදී එම ඉඩම නිදහස් වූ කල, ස්වාමින්වහන්සේට කැප කරන ලද ඉඩමක් පරිදි එය ශුද්ධ බවට පත් වී, පූජකයින්ගේ භුක්තියට පැවරේ.
22“ ‘යමකු තම පාරම්පරික ඉඩමක් නො වූ නමුදු, අන් කෙනකුගෙන් මිලයට ගත් ඉඩමක් ස්වාමින්වහන්සේට කැප කරන්නේ නම්, 23පූජකයා, ජුබිලි වර්ෂය දක්වා එහි වටිනාකම තක්සේරු කළ යුතු ය. එකල එය කැප කරන්නා, එහි වටිනාකම එදින ම ස්වාමින්වහන්සේට ශුද්ධ පඬුරක් කොට ගෙවිය යුතු ය. 24එම ඉඩම ජුබිලි වසරේදී, එය විකුණූ එහි මුල් හිමිකරුට යළි පැවරේ. 25හැම විට වටිනාකම තක්සේරු කළ යුත්තේ, ශුද්ධස්ථානයේ වලංගු මිල වන ෂෙකෙලයට අනුව ය; ෂෙකෙලයට ගේරා විස්සක් අඩංගු ය.
26“ ‘කෙසේ වුව ද සියලු කුලුඳුලන් අයිති ස්වාමින්වහන්සේට ය. එබැවින් කිසිවකුත් යම් සතකුගේ කුලුඳුල් පැටවකු කැප නො කළ යුතු ය. ගව හෝ බැටළු හෝ වුව ද කුලුඳුල් පැටවා ස්වාමින්වහන්සේගේ ය. 27කුලුඳුල් පැටවා අපවිත්‍ර සතුන්ගෙන් එකකු වූ කල, උගේ තක්සේරු වටිනාකමට තවත් පහෙන් එක් කොටසක් එක් කොට ගෙවීමෙන්, ඌ මුදා ගත හැකි ය. අයිතිකරු ඌ මුදා ගන්නේ නැති නම්, උගේ තක්සේරු මිලට ඌ විකිණිය යුතු ය.
28“ ‘යමකු ස්වාමින්වහන්සේට කැප කරන ලද තමන් සතු ව තිබූ කවරක් වුව, මිනිසකු හෝ සතකු හෝ පාරම්පරික ඉඩමක් හෝ යන කවරක් වුව යළි විකිණීමටවත්, මුදාගැනීමටවත් නො හැක. එසේ කැප කරන ලද හැම දේ ස්වාමින්වහන්සේට අතිශුද්ධ ය.
29“ ‘එසේ කැප කරන ලද්දකු වන්දියකින් මුදා ගත නො හැකි ය. ඔහු මරා දැමිය යුතු ය.
30“ ‘භූමියේ ධාන්‍යයෙන් වේවා, ගස්වල පලදාවෙන් වේවා, දේශයේ සියල්ලෙන් දසයෙන් කොටස අයිති ස්වාමින්වහන්සේට ය. එය ස්වාමින්වහන්සේට ශුද්ධ ය. 31දසයෙන් කොටස් වශයෙන් දුන් දෙයින් යමක් මුදා ගන්නේ නම්, එහි වටිනාකමට තවත් පහෙන් කොටසක් එකතු කොට, ගෙවිය යුතු ය. 32ගව රංචුවෙන් හෝ එළු බැටළු රංචුවෙන් සමස්ත දසයෙන් කොටස, එනම් එඬේරාගේ කෙවිට යටින් යන්නා වූ හැම සතුන් දහදෙනකුගෙන් එකකු බැගින් ස්වාමින්වහන්සේට ශුද්ධ ය. 33දහවැන්නා හොඳ එකෙක් ය, නරක එකෙක් යැයි තේරීමක් නො කෙරේ. එම සතාට වෙනත් එකකු මාරු නො කළ යුතු ය. එසේ කළහොත්, මුල් සතාත්, මාරු කළ සතාත් යන දෙදෙනා ම ශුද්ධ වේ. උන් මුදා ගැනීමට ද හැකි නො වේ යැ’ යි” පැවසූ සේක.
34 ස්වාමින්වහන්සේ සීනයි කන්දේදී ඉශ්‍රායෙල්වරුන් සඳහා මෝසෙස්ට දුන් ආඥා ඒවා ය.

Currently Selected:

ලෙවී 27: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ලෙවී 27