YouVersion Logo
Search Icon

ලෙවී 25

25
සබත් වසර
1 ස්වාමින්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස් ඇමතූ සේක්, 2“ඉශ්‍රායෙල් ජනයා අමතා, ඔවුනට මෙසේ කියන්න: ‘මා ඔබට දෙන්නට යන දේශයට ඔබ ඇතුළු වූ පසු, එම දේශය ද ස්වාමින්වහන්සේට සබත් පැවැත් විය යුතු ය. 3හය වසරක් ඔබේ කෙත් වතු වපුරන්න. හය වසරක් ඔබේ මිදි වතුවල අතු කප්පාදු කොට, මිදි අස්වනු නෙළා ගන්න. 4එහෙත්, හත් වන වසරේ දේශය සබත් විවේකයෙහි ස්වාමින්වහන්සේට සබතක් කොට තැබිය යුතු ය. එවසර පුරා ඔබගේ කෙත් වතු වැපිරීමත්, මිදි වතු කප්පාදු කිරීමත් නො කරන්න. 5ඔබේ කෙත් වත්හි ඉබේ හට ගැන්වෙන පලදාව හෝ කප්පාදු කරනු නො ලැබූ මිදි වැල්හි පලදාව නෙළීම නො කරන්න. දේශය වසරක පූර්ණ විවේකයක් ලැබිය යුතු ය. 6සබත් වසරේ දේශයේ හට ගැනෙන කවරක් වුව ඔබටත්, ඔබේ සේවක, සේවිකාවනට හා කුලීකරුවනටත් තාවකාලික ව ඔබ අතරේ වාසය කරන්නන්ටත් ආහාර පිණිස වන්නේ ය. 7තවද ඔබේ සත්ව රංචුවලට හා දේශයේ වන සතුනට ද දේශය හටගන්වන කවර දේ වුව අහරට ගත හැකි ය.
ජුබිලි වසර
8“ ‘මෙවන් සබත් වසර හතක් හෙවත් හත් අවුරුදු හතක් ගණන් කර ගන්න. මෙසේ සබත් වසර හතක එකතුව හතළිස් නව වසරකි. 9එකල, හත් වන මස දස වන දින හැම තැන්හි හොරණෑ හඬවන්න; පාප වන්දි නිවාරණ දවස වන එදින දේශය මුළුල්ලේ හොරණෑ හඬ නංවන්න. 10පනස් වන වසර විශුද්ධ කර, දේශය පුරා සිටින සියලු දේශ-වාසීනට නිදහස ප්‍රකාශ කරන්න. එය ඔබට ජුබිලි වර්ෂයයි. ඔබ හැම කෙනකු ම තමාගේ පිය උරුම දේපළ වෙත ආ යුතු ය. හැම කෙනකු ම තමාගේ පවුල් පෙළපත වෙත ආපසු ආ යුතු ය. 11පනස් වන අවුරුද්ද ඔබට ජුබිලි වර්ෂයයි. කෙත් වතු නො වපුරන්න. ඒවායේ හට ගැන්වෙන පලදාව හෝ සාත්තු නො කර හටගත් මිදි පලදාව නෙළා ගැනීම නො කරන්න. 12මන්ද එය ජුබිලියයි. එය ඔබට ශුද්ධ ය. ඔබේ කෙත් වත්හි හට ගැනුණු දෑ පමණක් අහරට ගන්න.
13“ ‘ජුබිලිය වූ මෙම වසරේ හැම කෙනකු ම පිය උරුමයෙන් ලද තම මුල් දේපළ වෙත ආපසු ආ යුතු ය.
14“ ‘ඔබේ රටවැසියකු හා ඉඩම් ගනුදෙනුවකදී, විකිණීමකදී හෝ මිලයට ගැනීමකදී එකකු අනෙකාගෙන් වාසි ලබා නො ගත යුතු ය. 15ඔබේ සහෝදර රටවැසියාගෙන් ඔබ මිලට ගත යුත්තේ, ජුබිලි වසරේ සිට ඉදිරියට ඇති අවුරුදු ගණන අනුව ය. ඔහු ඔබට විකිණිය යුත්තේ ද ඉදිරියට අස්වනු ලද හැකි අවුරුදු ගණන සැලකිල්ලට ගනිමිනි. 16අවුරුදු ගණන වැඩි වූ කල, මිල වැඩි විය යුතු ය. අවුරුදු ගණන අඩු වූ කල, මිල ද අඩු විය යුතු ය. මන්ද, ඔහු සැබවින් ම ඔබට විකුණන්නේ අස්වනු වාර ගණනක් බැවිනි. 17එකිනෙකාගෙන් අයුතු වාසි නො ගන්න; දෙවියන්වහන්සේට භය වන්න. ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය.
18“ ‘මගේ නියෝග පිළිපදින්න. මගේ නියමයන්වලට කීකරු වීමට වග බලා ගන්න. එවිට ඔබ දේශයෙහි සුරැකි ව වෙසෙනු ඇත. 19එවිට දේශය ද එහි පලදාව උපද්දන්නේ ය. ඔබ ඒවා සිත් සේ භුක්ති විඳ, සුරැකි ව එහි වාසය කරනු ඇත. 20හත් වන වසරේ අප වපුරන්නේවත්, අස්වනු නෙළා ගන්නේවත් නැති නම්, එම වසරේ අප කෑමට ගන්නේ මොනවාදැයි ඔබ අසන්නට පුළුවන. 21තුන් වසරකට ප්‍රමාණවත් තරම් අස්වැන්නක් දේශයෙන් උපද්දන ආශිර්වාදයක් හය වන වසරේ මම ඔබ වෙත එවන්නෙමි. 22අ‍ට වන වසරේ වපුරා, එහි අස්වනු නව වන වසරේ නෙළාගන්නා තෙක් ම, හය වන වසරේ ලද පැරණි අස්වැන්නෙන් ඔබ අනුභව කරනු ඇත.
23“ ‘දේශයේ ඉඩම් නිත්‍ය වශයෙන් නො විකිණිය යුතු ය. මන්ද, දේශය මගේ ය; නුඹලා විදෙස්සන් හා ආගන්තුකයන් පමණි. 24මුළු දේශය තුළ ඔබ මිලයට ගන්නා ඉඩම්, ඒවායේ මුල් අයිතිකරුවනට මුදා ගැනීමේ ඉඩකඩ සැලසිය යුතු ය.
25“ ‘ඔබේ සහෝදර රටවැසියකු දිළිඳු ව, තමා සතු ඉඩමක් විකුණන්නේ නම්, ඔහුගේ සමීපතම නෑයා පැමිණ, සහෝදර රටවැසියා විකුණූ දේපළ මුදා ගත යුතු ය. 26එහෙත්, ඔහු වෙනුවෙන් එය මිලට ගැනීමට එබඳු මිදුම්කාර නෑයකු නොමැතිව, පසු කලෙක ඔහු තමා ම සඵලවත් ව ඉඩම මුදා ගැනීමට අවැසි වත්කම් උපයා ගතහොත්, 27ඔහු එය විකුණූ තැන් සිට ගෙවුණු වසරවල වටිනාකම අඩු කොට, ඉතිරි මුදල ඉඩම මිලට ගත් අයට ගෙවිය යුතු ය. ඉන්පසු, එහි මුල් හිමිකරුට තම ඉඩමට යළි ආ හැකි ය. 28එහෙත්, එය මුදා ගැනීමේ වත්කම සපයා ගැනීමට ඔහු අපොහොසත් වූ විටෙක, එසේ විකුණන ලද දේපළ ජුබිලි වසර දක්වා ම ගැනුම්කරුගේ අයිතිය යටතේ පවතී. ජුබිලි වසරේදී එය එහි මුල් හිමිකරුට ආපසු ලැබේ. තම ඉඩමට ආපසු යෑමට එවිට ඔහුට පුළුවන.
29“ ‘පවුරින් වට පුරයක ඇති නිවසක් යමකු විකුණන්නේ නම්, එය විකුණූ දා සිට පුරා වසරක කාලයක් ඇතුළත ආපසු එය මුදා ගැනීමේ අයිතිය ඔහු සතු ය. ඒ කාලය ඇතුළත ඔහුට එය මුදා ගත හැකි ය. 30පූර්ණ වසරක් ගත වන්නට මත්තෙන් ඔහු එය මුදා ගැනීම නො කළහොත්, පවුරු සහිත පුරයේ එම නිවස එය මිලට ගත් ගැනුම්කරුගේ හා ඔහුගේ දරු පරපුරේ නිත්‍ය භුක්තියට සවි වන්නේ ය. එහි අයිතිය ජුබිලි වසරේදී එහි මුල් හිමිකරුට නො පැවරේ. 31එහෙත්, වට-පවුරින් තොර, ගම්මානවල නිවෙස් සැලකෙන්නේ එළිමහන් ඉඩම් වශයෙනි. ඒවා ආපසු මුදා ගත හැක. ජුබිලි වසරේ ඒවා ආපසු පැවරේ.
32“ ‘එහෙත්, ලෙවීවරුනට අයත් ලෙවීය පුරවරවල පිහිටි ඔවුන්ගේ නිවෙස් මුදා ගැනීමේ නිරන්තර අයිතිය ලෙවීවරුනට ඇත. 33එබැවින් ලෙවීවරුන්ගේ දේපළ මුදා ගත හැකි ඒවා ය. ඔවුන්ට අයත් ඕනෑ ම පුරවරයක වූ නිවසක් විකුණන ලද නමුදු, ජුබිලි වසරේ එය ආපසු පැවරේ. මන්ද, ලෙවීය පුරවරවල ඇති නිවෙස්, ඉශ්‍රායෙල් ජනයා අතරේ ලෙවීවරුන්ගේ උරුම දේපළ වන බැවිනි. 34එහෙත්, ලෙවීය-පුරවරවලට අයත් තණ බිම් නො විකිණිය යුතු ය. ඒවා ඔවුන්ගේ නිරන්තර උරුමයකි.
35“ ‘ඔබේ සහෝදර රටවැසියකු දිළිඳු වී, ඔබ මධ්‍යයේ තම නඩත්තුව සපයා ගැනීමට අපොහොසත් වුවහොත්, විදේශිකයකුට හෝ ආගන්තුකයකුට සේ ඔබ ඔහුට ආධාර කළ යුතු ය. එසේ තවදුරටත් ඔබ අතරේ වාසය කිරීමට ඔහුට හැකි වෙයි. 36ඔහුගෙන් පොලියක් හෝ ලාභයක් අය නො කරන්න. ඒ වෙනුවට ඒ සහෝදර රටවැසියාට තවදුරටත් ඔබ අතර විසීමට ඉඩ සලසමින්, ඔබේ දෙවියන්වහන්සේට භය පක්ෂපාතීත්වය පෙන්නුම් කරන්න. 37ඔබ ඔහුට ණය දෙන කල, ඊට පොලී අය නො කරන්න; ඔහුට ආහාර විකුණන කල, ඉන් ලාභ නො ගන්න. 38කානාන් දේශය ඔබට දෙන පිණිසත්, ඔබේ දෙවියන්වහන්සේ වන පිණිසත් ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ ගෙන ආ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය.
39“ ‘ඔබේ සහෝදර රටවැසියකු දිළිඳු බවට පත් ව, තමා වහලකු කොට ඔබට විකුණාගනු ලැබුවහොත්, ඔහු වහලකු සේ වැඩෙහි නො යොදවන්න. 40කුලියට වැඩ කරන සේවකයකු හෝ තාවකාලික ව ඔබ හා නතර වී සිටින්නකු හෝ ලෙස ඔහු සලකන්න. ඔහු ඔබට මෙහෙ කරනු ඇත්තේ ජුබිලි වසර දක්වා ය. 41එකල ඔහු ද ඔහුගේ දරුවන් ද නිදහස් කළ යුතු ය. එකල ඔහු තම පවුල් පෙළපත වෙතටත්, තම පිය පරපුරේ උරුමය වෙතටත් ආපසු යන්නේ ය. 42මන්ද, ඊජිප්තු දේශයෙන් පිටතට මවිසින් ගෙනෙනු ලැබූ ඔවුන් මගේ සේවකයින් ය; වහලුන් ලෙස ඔවුන් විකිණීම නො කළ යුතු ය. 43දයා විරහිත ව ඔවුන් පාලනය නො කර, ඔබේ දෙවියන්වහන්සේට භය පක්ෂ ව කටයුතු කරන්න.
44“ ‘ඔබ වහල් දැසි දස්සන් ලබා ගත යුත්තේ ඔබ අවට වෙසෙන ජාතීන්ගෙනි. ඔවුන් අතරින් ඔබට වහලුන් මිලට ගන්න. 45ඔබ අතරේ තාවකාලික ව වෙසෙන විදෙස්සන්ගෙන් ඇතමකු ද ඔබේ රටේ උපන් ඔවුන්ගේ පවුල්වල උදවිය ද ඔබට මිල දී ගත හැකි ය. ඔවුන් ඔබගේ සන්තකයට පත් වේ. 46ඔබගේ දරුවන්ට හිමි උරුමයක් වශයෙන් ඔවුන් පවරා දෙන්නට සේ ම, ඔවුන් දිවි හිමියෙන් ඔබේ දරුවන්ගේ වහලුන් බවට පත් කරන්නට ඔබට පුළුවන. එහෙත් සහෝදර ඉශ්‍රායෙල්වරයකු නිර්දය ලෙස පාලනය නො කරන්න.
47“ ‘ඔබ අතරේ වෙසෙන විදෙස්සකු හෝ තාවකාලික පදිංචිකාර ආගන්තුකයකු හෝ ධනවත් වන අතර, ඔබේ සහෝදර රටවැසියකු දිළිඳු බවට පත් වූ කලෙක, ඔබ මධ්‍යයේ වෙසෙන විදෙස්සාට හෝ එම පවුලේ කෙනකුට, අර දිළිඳු රටවැසියා තමා ම විකුණනු ලැබුවහොත්, 48එසේ විකුණූ පසුව වුව ද, තමා මුදා ගැනීමේ අයිතිය ඔහුට ඇත. ඔහුගේ සහෝදරයින්ගෙන් කෙනකුට ඔහු මුදා ගත හැකි ය. 49ඔහුගේ පියාගේ සහෝදරයකුට හෝ පියාගේ සහෝදරයාගේ පුතකුට හෝ ඔහුගේ පෙළපතේ ලේ නෑයකුට හෝ ඔහු මුදා ගත හැකි ය, යම් හෙයකින් ඔහු තමා ම සඵල වුවහොත්, තමා මුදා ගැනීමට ඔහුට ම පුළුවන. 50ඔහු, තමා විකුණා ගත් දා සිට ජුබිලි වසර දක්වා ඇති අවුරුදු ගණන, තමාගේ ගැනුම්කරු සමඟ ගණනය කර, තමා මුදා ගැනීමට ගෙවිය යුතු මිලය තීරණය කළ යුත්තේ එම අවුරුදු ගණනට කුලී සේවකයකුට ගෙවන මිලයට අනුකූලව ය. 51ජුබිලි වසර දක්වා තව වසර බොහොමයක් ඉතිරි ව ඇත්නම්, තමා මිල දී ගැනීමේදී ගැනුම්කරු ගෙවා තිබූ මිලෙන් වැඩි කොටසක් තමා මුදා ගැනීම සඳහා ඔහු ගෙවිය යුතු ය. 52එහෙත්, ජුබිලිය දක්වා ඉතිරි ව ඇත්තේ වසර ස්වල්පයක් නම්, ඒ වසර ගණනට ගණන් බලා, තමා මුදා ගැනීම සඳහා වන මිලය ඔහු ගෙවිය යුතු ය. 53ඔහු ගණන් ගැනෙන්නේ වසරින් වසර කුලියට ගැනෙනා කුලීකරුවකු පරිද්දෙනි. ඔහුගේ හාම්පුතා විසින් වහලකු සේ ඔහු වැඩෙහි යොදවනු නො ලැබීමට වග බලා ගන්න.
54“ ‘ඒ කවර ලෙසකින් වුව, ඔහු මුදා ගනු නො ලැබුව ද ජුබිලි වසරේදී ඔහු ද ඔහුගේ දරුවන් ද නිදහස් ව යා යුතු ය. 55මන්ද, ඉශ්‍රායෙල් ජනයා මට අයිති සේවකයෝ වෙති. මා විසින් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන එනු ලැබූ මගේ සේවකයෝ ඔවුහු ය. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය.

Currently Selected:

ලෙවී 25: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in