YouVersion Logo
Search Icon

ලෙවී 24

24
පිදුම් රොටි හා පහන්
1තවද ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 2ආලෝකය සඳහා පහන් නිතර ම දැල් වී තිබෙන ලෙසට ඔලීව කොටා, සිඳගත්, පිරිසිදු තෙල් ඔබ වෙත ගෙනෙන්නට ඉශ්‍රායෙල් ජනයාට අණ කරන්න. 3ආරොන් විසින් මෙම පහන්, හමුවීමේ කූඩාරමේ ගිවිසුම් කරඬු තිරයට පිටතින් ස්වාමින්වහන්සේ ඉදිරියේ සවස සිට උදය දක්වා එක දිගට ම දල්වා තැබිය යුතු ය. පරපුරින් පරපුරට මෙය සදාතනික නියෝගයකි. 4අමිශ්‍ර රන් පහන් රුක මත ඇති පහන්, ස්වාමින්වහන්සේ ඉදිරියේ නොකඩව දල්වා තිබිය යුතු ය.
5“සිහින් පිටි ගෙන, එකක් ඒෆාවකින් දහයෙන් දෙපංගුවක් බැගින් වූ රොටි දොළහක් පුලුස්සා ගන්න. 6එක ගොඩකට හය බැගින්, ඒවා අමිශ්‍ර රන් මේසය මත ස්වාමින්වහන්සේ අබියස ගොඩවල් දෙකකට තබන්න. 7තවද ස්වාමින්වහන්සේට ගින්නේ පිදෙන පූජාවක් සේ, එම කැවිලිවල සිහිවීමේ පංගුවක් වශයෙන් ඒ එක් එක් ගොඩ මත පිරිසිදු කට්ටකුමංජල් ස්වල්පයක් දමන්න. 8ඉශ්‍රායෙල් ජනයා උදෙසා සදාතනික ගිවිසුමක් වශයෙන් මෙම රොටි, සබතක්, සබතක් පාසා, නිති පතා ස්වාමින්වහන්සේ අබිමුවේ විධිමත් ව තැබිය යුතු ය. 9ඒවා හිමි ආරොන්ටත්, ඔහුගේ පුතුන්ටත් ය. ඔවුහු ඒවා ශුද්ධ තැනකදී අනුභව කළ යුත්තෝ ය. මන්ද, ස්වාමින්වහන්සේට ගින්නෙන් පිදූ පූජාවලින් ඔවුන්ගේ නිත්‍ය පංගුව වන එය අතිශුද්ධ බැවිනි.”
දේවාපහාසය සඳහා දඬුවම
10තවද, ඉශ්‍රායෙල් ජනයා සමඟ පැමිණියවුන් අතර ඊජිප්තු පියකුට දාව ඉශ්‍රායෙල් මවකගෙන් උපන් මිනිසෙක් සිටියේ ය. එක් ඉශ්‍රායෙල් ජාතිකයකු ද ඔහු ද අතර කඳවුරේදී කලහයක් හට ගත්තේ ය. 11ඉශ්‍රායෙල් මවට පුතු වූ ඒ මිනිසා ස්වාමින්වහන්සේගේ නාමයට දේවාපහාස කරමින්, ශාප කළේ ය. එබැවින් ඔහු මෝසෙස් වෙත පමුණුවනු ලැබිණ. ඔහුගේ මවගේ නම ෂෙලොමිත් ය. ඈ දාන් ගෝත්‍රික දිබ්රීගේ දියණියක වූවා ය. 12ඔහු පිළිබඳව ස්වාමින්වහන්සේගේ කැමැත්ත කවරේදැයි තමනට ප්‍රත්‍යක්ෂ වන තෙක් ඔවුහු, ඔහු සිර බාරයේ තැබූහ.
13එකල, ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 14“ශාප කළ තැනැත්තා කඳවුරෙන් පිටතට ගෙන යන්න. ඔහු කී කියමන් ඇසූ සැවොම ඔහුගේ හිස මත තම අත් හෙළිය යුතු ය. එවිට මුළු මහත් සමාජය ම ඔහුට ගල් ගැසිය යුතු ය. 15ඉශ්‍රායෙල් ජනයාට මෙසේ කියන්න: ‘යමෙක් තම දෙවියන්වහන්සේට ශාප කළහොත්, එහි විපාකය ඔහු විඳිය යුතු ය. 16ස්වාමින්වහන්සේගේ නාමයට අපහාස කරන කවරකු වුව ද මරණයට පත් කළ යුතු ය. මුළු මහත් සමාජය ම ඔහුට ගල් ගැසිය යුතු ය. ස්වාමින්වහන්සේගේ නාමයට අපහාස කළහොත්, පිටරැටියකු වුව ද පුරවැසියකු වුව ද ඔහු මරා දැමිය යුතු ය.
17“ ‘යමෙක් මිනිස් ජීවිතයක් අහිමි කරයි ද ඔහු මරණයට පත් කළ යුතු ය. 18යමෙක් අන් කෙනකුට අයත් සතකු මරා දැමුවහොත්, ඔහු ඊට වන්දිය ගෙවිය යුතු ය. ජීවිතයකට ජීවිතයකි. 19යමකු තම අසල්වැසියාට තුවාල කළහොත්, ඔහු කළ පරිදි ම ඔහුටත් කළ යුතු ය. 20ඇට බිඳීමකට ඇට බිඳීමකි; ඇසකට ඇසකි; දතකට දතකි; යමකු අනෙකකුට කළ හානිය පරිදි ම ඔහුටත් කරනු ලැබිය යුතු ය. 21අනෙකකුගේ සතකු මරන්නා ඊට සරිලන වන්දියක් ගෙවිය යුතු ය. එහෙත්, මිනිසකු මරන තැනැත්තා මරා දමනු ලැබිය යුතු ය. 22විදේශිකයා සඳහා මෙන් ම පුරවැසියා සඳහා ද තිබිය යුත්තේ එක ම නීතියකි. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම යැ’ යි” පැවසූ සේක.
23ඉන්පසු මෝසෙස් ඉශ්‍රායෙල් ජනයාට කතා කළේ ය. එවිට ඔවුහු ශාප කළ තැනැත්තා කඳවුරෙන් පිටතට ගෙන ගොස්, ඔහුට ගල් ගසා මරා දැමූහ. ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිද්දෙන් ඉශ්‍රායෙල් ජනයා කටයුතු කළහ.

Currently Selected:

ලෙවී 24: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ලෙවී 24