YouVersion Logo
Search Icon

ලෙවී 22

22
1 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 2“ආරොන්ටත්, ඔහුගේ පුත්‍රයින්ටත් කතා කොට, මගේ ශුද්ධ නාමය නො කෙලෙසන පරිද්දෙන්, ඉශ්‍රායෙල් ජනයා මට කැප කරන ශුද්ධ පූජා, ගෞරව භක්තියෙන් සලකන්නැයි කියන්න. මම ස්වාමින්වහන්සේ ය.
3“ඔවුනට මෙසේ කියන්න: ‘මතු පරම්පරාහි දී ඔබෙන් පැවත එන්නකු තමා අපවිත්‍ර ව සිටියදී, ඉශ්‍රායෙල් ජනයා ස්වාමින්වහන්සේට කැප කරන ශුද්ධ පූජා සමීපයට පැමිණියහොත්, මා අබියසින් ඔහු සිඳ දැමිය යුතු ය. මම ස්වාමින්වහන්සේ ය.
4“ ‘ආරොන්ගෙන් පැවත එන්නකුට යම් කුෂ්ඨ රෝගයක් හෝ මෝචනයවීමක් හෝ වේ නම්, ඔහු පවිත්‍ර වන තුරු ශුද්ධ පූජාවලින් අනුභව නො කළ යුතු ය. මළ සිරුරකින් දූෂ්‍ය වූ යමක හෝ ශුක්‍ර මෝචන වූ යමකු හෝ ස්පර්ශවීමෙන් ඔහු අපවිත්‍ර වේ. 5තවද බඩ ගා ඇදෙන අපවිත්‍ර සතකු ඇල්ලීමෙන් හෝ කවර ලෙසකින් වුව කෙනකු අපවිත්‍ර කරන කෙනකු ස්පර්ශවීමෙන් හෝ ඔහු අපවිත්‍ර වේ. 6එකී කවරක් වුව ස්පර්ශ කරන්නා, සවස දක්වා අපවිත්‍ර ව සිටී. දියේ ගිලී තම සිරුර ස්නානය කරන තෙක් එබන්දකු ශුද්ධ පූජාවලින් කිසිවක් අනුභව නො කළ යුතු ය. 7හිරු බැස ගිය පසු ඔහු පවිත්‍ර වේ. ඉන්පසු ශුද්ධ පූජාවලින් වළඳන්නට ඔහුට පුළුවන. මන්ද ඔහුගේ ආහාරය එයයි. 8මළ සතකුගේ මස හෝ වන සතුන් ඉරා දැමුණු සතකුගේ මස, ඔහු අනුභව නො කළ යුතු ය. එලෙසින් ඔහු අපවිත්‍ර නො විය යුතු ය. මම ස්වාමින්වහන්සේ ය.
9“ ‘පූජකයින් විසින් මගේ නියෝග කෙලෙසනු ලැබීමේ හේතුවෙන් ඔවුන් වරදකරුවන් වී, මරණයට පත් නො වන පිණිස, ඒවා ඔවුන් පිළිපැදිය යුතු ය. මම, ඔවුන් ශුද්ධවත් කරන ස්වාමින්වහන්සේ ය.
10“ ‘පූජක පවුලෙන් පිටස්තර කිසිවකු ශුද්ධ පූජාවලින් අනුභව නො කළ යුතු ය. පූජකයාගේ අමුත්තකු හෝ ඔහුගේ කුලී සේවකයකු හෝ එයින් අනුභව නො කළ යුතු ය. 11එහෙත් පූජකයා විසින් මිලයට ගන්නා ලද හෝ පූජක නිවසේ ම උපන් හෝ වහලෙක් වේ ද, ඔහුට පූජක ආහාර වැළඳිය හැකි ය. 12පූජකයකුගේ දියණියක්, පූජකයකු නො වන කෙනකු සමඟ විවාහ වුවහොත්, ශුද්ධ පඬුරුවලින් කිසිවක් ඇය අනුභව නො කළ යුතු ය. 13එහෙත්, පූජකයකුගේ දියණියක්, දරුවන් නො ලැබ, වැන්දඹුවක බවට පත් පසු හෝ දික්කසාද කරනු ලැබූ පසු හෝ ඇගේ යොවුන් අවදියේ මෙන් තම පියාගේ නිවසේ වාසයට පෙරළා පැමිණි කල, තම පියාගේ පූජක ආහාර ඇයට අනුභව කළ හැකි ය. එහෙත්, පූජක පවුලෙන් පිටස්තර ගිහියකු ඒවායින් අනුභව නො කළ යුතු ය.
14“ ‘යමකු ශුද්ධ පූජාවක් වැරදීමකින් හෝ අනුභව කළහොත්, ඊට වන්දියක් වශයෙන් ඔහු එම පූජාවේ වටිනාකමට තවත් පහෙන් පංගුවක් එකතු කොට පූජකයාට දිය යුතු ය. 15ඉශ්‍රායෙල් ජනයා ස්වාමින්වහන්සේට පූජා කරන ශුද්ධ පූජා, පූජකයා විසින් අපවිත්‍ර නො කළ යුත්තේ, 16අන් අයට ශුද්ධ පූජා වැළඳීමට ඉඩ නො හැරීමෙන් හා එමඟින් වන්දියක් හා වරදකාරකමක් ඔවුන් පිටට ඒමට ඉඩ නො දීමෙන් ය. මම, ඔවුන් ශුද්ධත්වයට පමුණු වන ස්වාමින්වහන්සේ යැ’ යි” පැවසූ සේක.
නො පිළිගැනෙන පූජා
17 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්; 18“ආරොන් ද ඔහුගේ පුත්‍රයින් ද සියලු ඉශ්‍රායෙල්වරුන් ද අමතා මෙසේ පවසන්න: ‘ඉශ්‍රායෙල්වරයකු හෝ ඉශ්‍රායෙල්හි වෙසෙන විදෙස්සකු හෝ බාරයක් ඔප්පු කිරීමක් වශයෙන්, නැතහොත් ස්වේච්ඡා පූජාවක් වශයෙන් ස්වාමින්වහන්සේට දවන යාග පූජාවක් පිළිගන්වන්නේ නම්, 19ඔබ උදෙසා එය පිළිගැනෙනා පිණිස ගව හෝ එළු, බැටළු හෝ කැළැල් රහිත පිරිමි සතකු පිළිගැන්විය යුතු ය. 20ඇද පලුදු ඇති කිසිවක් නො ගෙනෙන්න. මන්ද ඔබ උදෙසා එබඳු දෑ නො පිළිගැනේ. 21යමෙක්, විශේෂ බාරයක් ඔප්පු කිරීමට හෝ ස්වේච්ඡා පූජාවක් වශයෙන් හෝ ස්වාමින්වහන්සේට ශාන්ති පූජාවක් කොට ගව, එළු, බැටළු යන කවර හෝ සතකු ගෙනෙන කල, එය පිළිගනු ලබන පිණිස, ගෙන ආ යුත්තේ, ඇද පලුදු නැති, කැළලක් නැති පිරිමි සතුන්ගෙනි. 22අන්ධ වූ තුවාල වූ අබ්බගාත වූ හෝ ඉන්නන්, වණ, දද ඇතියවුන් ස්වාමින්වහන්සේට ඔප්පු නො කරන්න. එවන් සතකු ස්වාමින්වහන්සේට ගින්නෙන් යාග කරන පූජාවක් වශයෙන් පූජාසනය මත නො තබන්න. 23විකලාංග වූ නැතහොත් කුදු වූ ගවයකු හෝ බැටළුවකු හෝ ස්වේච්ඡා පූජාවක් වශයෙන් ඔප්පු කරන්නට ඔබට පුළුවන. එහෙත්, බාරයක් ඉටු කිරීමට එබන්දකු පිළිගනු නො ලැබේ. 24තැළුණු, පොඩිවුණු, ඉරුණු හෝ කැපුණු අණ්ඩ කෝෂයක් ඇති සතකු, ස්වාමින්වහන්සේට පූජා නො කළ යුතු ය. ඔබේ දේශයේ ඔබ එසේ නො කළ යුතු ය. 25එබඳු සතුන් විදෙස්සකු අතින් පිළිගෙන, ඔබේ දෙවියන්වහන්සේගේ භෝජනය වශයෙන් උන් පූජා නො කළ යුතු ය. උන් විකෘති වූ, ඇද පලුදු ඇතියවුන් බැවින්, ඔබ උදෙසා උන් නො පිළිගැනේ යැ’ යි” පැවසූ සේක.
26 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 27“වහු පැටවකු, බැටළු පැටවකු හෝ එළු පැටවකු උපන් කල, හත් දවසක් ඌට උගේ මව සමඟ සිටින්නට හැරිය යුතු ය. අ‍ට වන දවසේ පටන් ස්වාමින්වහන්සේට ගින්නෙන් පිදෙන යාගයක් සඳහා ඌ පිළිගැනේ. 28එළදෙනක නැතහොත් බැටළු දෙනක උගේ පැටවා සමඟ එක ම දවසක නො මරන්න.
29ස්වාමින්වහන්සේට ස්තුති දීමේ පූජාවක් ඔප්පු කරන කල, එය ඔබ උදෙසා පිළිගැනෙනා පරිදි පූජා කරන්න. 30එය පූජා කරන දවසේ ම එය අනුභව කළ යුතු ය. පසු දා උදය වන තෙක් ඉන් කිසිවක් ඉතිරි නො කරන්න. මම ස්වාමින්වහන්සේ ය.
31“මගේ ආඥා රක්ෂා කරන්න; ඒවා පිළිපදින්න. මම ස්වාමින්වහන්සේ ය. 32මගේ ශුද්ධ නාමය දූෂ්‍ය නො කරන්න. මා පාරිශුද්ධ වග ඉශ්‍රායෙල් ජනයා ඒත්තු ගත යුතු ය. ඔබ ශුද්ධවත් කරන ස්වාමින්වහන්සේ මම ය. 33ඔබගේ දෙවියන්වහන්සේ වන පිණිස, ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ ගෙන ආ ස්වාමින්වහන්සේ මම යැ” යි පැවසූ සේක.

Currently Selected:

ලෙවී 22: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ලෙවී 22