YouVersion Logo
Search Icon

ලෙවී 15

15
ශාරීරික වහනයවීම් නිසා ඇති වන අපවිත්‍රතා
1 ස්වාමින්වහන්සේ, මෝසෙස් හා ආරොන් ඇමතූ සේක්; 2“ඉශ්‍රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න: ‘යම් මිනිසකුට යම් ආකාරයක ශාරීරික මෝචනයක් ඇති වී නම්, එම මෝචනය අපවිත්‍ර ය. 3ඔහුගේ ගතේ මෝචනය දිගට ම පැවතුණ ද, එය නවතනු ලැබුව ද එමඟින් ඔහු අපවිත්‍ර කෙරේ. එම පහවීමට අදාළ ව අපවිත්‍රතාව සිදු වන්නේ මෙසේ ය:
4“ ‘එබඳු මෝචනයක් ඇති අය දිගා වන කවර යහනක් වුව අපවිත්‍ර වෙයි. ඒ අය හිඳ ගන්නා හැම අසුනක් ද අපවිත්‍ර වෙයි. 5එවැන්නකුගේ ඇඳ ස්පර්ශ කරන කවරකු නමුත් තම හැඳිවත් සෝදා, දිය නා ගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ව සිටියි. 6එබඳු මෝචනයක් ඇති අය හිඳගත් කවර තැනක හෝ හිඳ ගන්නා කෙනකු තම හැඳිවත් සෝදා, දිය නා ගත යුතු ය. ඒ අය සවස දක්වා අපවිත්‍ර ව සිටියි.
7“ ‘මෝචනය ඇති අය ස්පර්ශ කරන කවරකු වුව ද තමන් හැඳිවත් සෝදා, දිය නා ගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ව සිටියි.
8“ ‘එබඳු මෝචනයක් ඇති අය, පවිත්‍ර කෙනකුට කෙළ ගැසුවහොත්, ඒ ඇත්තා තම හැඳිවත් සෝදා, දිය නා ගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ව සිටියි.
9“ ‘මෝචනයක් ඇත්තකු ගමන් යෑමේදී හිඳ ගන්නා අසුන හෝ සෑදලය අපවිත්‍ර වෙයි. 10එසේ ඔහුට යට වූ කවර දෙයක් වුව ස්පර්ශ කරන්නා සවස දක්වා අපවිත්‍ර ව සිටියි. ඒ දෑ අතට ගන්නා කවුරු වුව ද තමන් හැඳිවත් සෝදා, දිය නා ගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ව සිටියි.
11“ ‘මෝචනයක් ඇත්තා ජලයෙන් නො සේදූ තම අත්වලින් අන් කෙනකු ඇල්ලුවහොත්, ඒ අය තම හැඳිවත් සෝදා, දිය නා ගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ව සිටියි.
12“ ‘මෝචනය ඇත්තා මැටි බඳුනකට අත ගැසුවහොත්, එය බිඳ දැමිය යුතු ය. ඔහු ලී උපකරණයකට අත ගැසුවහොත්, එය ජලයෙන් සේදිය යුතු ය.
13“ ‘මෝචනය තිබූ අය ඉන් සුවය ලද පසු, පවිත්‍ර වීම සඳහා හත් දවසක් පසු කළ යුතු ය. ඉන්පසු ඔහු තමන් හැඳිවත් සෝදාගෙන, ගලා යන දියෙන් නා ගත යුතු ය. එවිට ඔහු පවිත්‍ර වෙයි. 14අ‍ට වන දවසේ ඔහු පරෙවියන් හෝ කොබෙයි පැටවුන් දෙදෙනකු ගෙන, හමුවීමේ කූඩාරම් දොරකඩ වෙත ස්වාමින්වහන්සේ අබියසට අවුත්, ඒ සතුන් පූජකයාට දිය යුතු ය. 15පූජකයා ඉන් එකකු පාප පූජාවක් වශයෙන් ද අනෙකා දවන යාග පූජාවක් වශයෙන් ද ඔප්පු කළ යුතු ය. එසේ පූජකයා, ඒ අයගේ මෝචනය හේතු කොට ඒ අය උදෙසා ස්වාමින්වහන්සේ ඉදිරියේ පාප වන්දි නිවාරණය සලසයි.
16“ ‘යම් මිනිසකුට ශුක්‍ර මෝචනය වූ කල්හි ඔහු තම මුළු ශරීරය ම දිය නා ගත යුතු ය. සවස දක්වා ඔහු අපවිත්‍ර ව සිටියි. 17යම් ඇඳුමක හෝ හම් කඩක හෝ ශුක්‍ර පතිත වී නම්, එය ජලයෙන් සේදිය යුතු ය. සවස දක්වා එය අපවිත්‍ර ව පවතී. 18යම් මිනිසකු ස්ත්‍රියක සමඟ හැසිරී, ශුක්‍ර පහ වූ කල, ඒ දෙදෙනා ම දිය නා ගත යුතු ය. ඔවුහු සවස දක්වා ම අපවිත්‍ර ව සිටිති.
19“ ‘යම් ස්ත්‍රියකට ඇගේ මාසික ඔසප්වීම ඇති වූ කල, ඇගේ අපවිත්‍ර කාලය හත් දවසක් පවතී. එම කාලය තුළ ඇය ස්පර්ශ කරන කවරෙක් වුව ද, සවස දක්වා අපවිත්‍ර ව සිටියි.
20“ ‘ඇගේ ඔසප් කාලය තුළ ඇය නිදන, කවර දෙයක් වුව අපවිත්‍ර වෙයි. ඇය වාඩිවන කවර දෙයක් වුව අපවිත්‍ර වෙයි. 21ඇගේ යහන ස්පර්ශ කරන කවරකු වුව, තම හැඳිවත් සෝදා, දිය නා ගත යුතු ය. සවස දක්වා ඔහු අපවිත්‍ර ව සිටියි. 22ඇය හිඳ ගන්නා කවරක් හෝ ස්පර්ශ කරන කවරකු වුව තමන් හැඳිවත් සෝදා, දිය නා ගත යුතු ය. ඒ අය ද සවස දක්වා අපවිත්‍ර ව සිටියි. 23ඇගේ යහන හෝ ඇය හිඳ ගන්නා අසුනක් හෝ ස්පර්ශ කරන කවුරුන් වුව ද සවස දක්වා අපවිත්‍ර ව සිටී.
24“ ‘යමකු ඇය හා එක්වීමේදී ඇගේ ඔසප් ද්‍රාවය ගෑවුණහොත්, ඔහු හත් දවසක් අපවිත්‍ර ව සිටියි. ඔහු නිදන යහන ද අපවිත්‍ර වෙයි.
25“ ‘යම් ස්ත්‍රියකට ඇගේ මාසික ඔසප්වීමට අමතරව දින ගණනක් ලේ පිට වේ නම් හෝ සාමාන්‍ය ඔසප් දවස් ගෙවුණු පසුව ද දිගට ම ලේ පිට වේ නම් හෝ එම කාලය පුරා ඈ ඇගේ ඔසප් දවස්හි සේ ම අපවිත්‍ර ව සිටින්නී ය. 26ඒ කාලය තුළ ඇය නිදන යහන, ඇගේ ඔසප් දවස්හි මෙන් අපවිත්‍ර වෙයි. ඒ කාලය තුළ ඇය හිඳ ගන්නා අසුන් ද ඇගේ ඔසප් දවස්හි මෙන් අපවිත්‍ර වෙයි. 27එම භාණ්ඩ ස්පර්ශ කරන්නා අපවිත්‍ර ව සිටින්නේ ය. ඔහු තම හැඳිවත් සෝදා, දිය නා ගත යුතු ය. සවස දක්වා ඔහු අපවිත්‍ර ව සිටියි.
28“ ‘ඇගේ ලේ ගැලීම නැවතුණු පසු, ඇය හත් දවසක් ගත කළ යුතු ය. ඉන්පසු ඈ පවිත්‍ර වන්නී ය. 29අ‍ට වන දවසේ ඇය පරෙවියන් දෙදෙනකු හෝ කොබෙයි පැටවුන් දෙදෙනකු හෝ හමුවීමේ කූඩාරම් දොරටුව වෙත, පූජකයා වෙත ගෙන ආ යුතු ය. 30පූජකයා ඉන් එකකු පාප පූජාවක් වශයෙන් ද අනෙකා දවන යාග පූජාවක් වශයෙන් ද ඔප්පු කළ යුතු ය. මෙසේ පූජකයා, ස්වාමින්වහන්සේ අබියස ඇය උදෙසා ඇගේ ලේ පිටවීම ගැන පාප වන්දි නිවාරණය සලසයි.
31“ ‘ඉශ්‍රායෙල් ජනයා අතරෙහි වන මගේ වාස භවන ඔවුන්ගේ අපවිත්‍රතා මගින් කිලිටි කොට, ඒ හේතුවෙන් ඔවුන් මරණයට පත් නො වන පිණිස, ඔවුන් අපවිත්‍ර කරන දෑවලින් ඔබ ඔවුන් වෙන් කොට තැබිය යුතු යැ’ යි” පැවසූ සේක.
32ඉහත දක්වන ලද්දේ, මෝචනයක් වැලඳුණු කෙනකු පිළිබඳව ද ශුක්‍ර මෝචනයෙන් අපවිත්‍ර වන මිනිසුන් පිළිබඳව ද 33මාසික ඔසප් දවස්හි ස්ත්‍රියක පිළිබඳව ද මෝචනයක් ඇති පුරුෂයකු හෝ ස්ත්‍රියක හෝ පිළිබඳව ද අපවිත්‍ර ව සිටින ස්ත්‍රියක සමඟ එක් වන මිනිසකු පිළිබඳව ද වන නියමයන් ය.

Currently Selected:

ලෙවී 15: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in