YouVersion Logo
Search Icon

ලෙවී 13

13
කුෂ්ඨ රෝග පිළිබඳ නීති
1 ස්වාමින්වහන්සේ මෝසෙස් හා ආරොන් ඇමතූ සේක්, 2“යමකුගේ හමේ යම් ඉදිමුමක් හෝ පලු දැමීමක් හෝ ඔපවත් ලපයක් හෝ තිබේ නම් සහ එය ඔහුගේ හමේ කුෂ්ඨ රෝගයක්#13:2 කුෂ්ඨ රෝගයක් එනම් අපවිත්‍ර කරන චර්ම රෝගයක් වී ඇත්නම් එබඳු වූවකු පූජක ආරොන් වෙත හෝ පූජකයකු වන ඔහුගේ පුතකු වෙත කැඳවාගෙන ආ යුතු ය. 3ඔහුගේ හමේ ආසාදිත කොටස පූජකයා පිරික්සා බැලිය යුතු ය. හම මතු පිට එකී කොටසෙහි රෝම සුදු පැහැ ගැන්වී, එතැන හම මදක් යටට කා-වැදී ඇති වගක් පෙනේ නම්, එය කුෂ්ඨ රෝගයකි. එසේ වූ විට පූජකයා, එම රෝගියා පිරික්සූ පසු, ඔහු අපවිත්‍ර වග නිවේදන කළ යුතු ය. 4එහෙත් හමේ ලපය සුදු පැහැවන් නමුදු, හම යටට එය කා-වැදුණු සෙයක් නො පෙනේ නම් හා ඒ මත ඇති රෝම සුදු පැහැ ගැන්වී නැති නම්, පූජකයා හත් දවසක් එම රෝගියා හුදකලා කොට තැබිය යුතු ය. 5හත් වන දවසේ පූජකයා ඔහු පිරික්සිය යුතු ය. එකල කුෂ්ඨ-ලපය හමේ නො පැතිර, කලින් තිබූ තත්වයේ ම ඇති වග පෙනේ නම්, තවත් හත් දවසක් ඔහු හුදකලා කොට තැබිය යුතු ය. 6ඊළඟ හත් වන දවසේ පූජකයා යළි ඔහු පිරික්සිය යුතු ය. එකල ලපය හමේ නො පැතිර, මැලවී තිබේ නම්, ඔහු පවිත්‍ර වග පූජකයා නිවේදන කළ යුතු ය. එය හමේ පලු දැමීමක් පමණකි. එය වැලඳී සිටි අය තමන් හැඳිවත් සෝදා ගත යුතු ය. එවිට ඔහු පවිත්‍ර වේ. 7එහෙත් පූජකයා විසින් එලෙස පිරික්සනු ලැබ, ඔහු පවිත්‍ර වග ප්‍රකාශ කරනු ලැබූ පසුත් ඒ ලපය හමේ පැතිරේ නම්, ඔහු යළි පූජකයා වෙත පෙනී සිටිය යුතු ය. 8පූජකයා ඔහු පිරික්සිය යුතු ය. කුෂ්ඨ-ලපය හමේ පැතිර තිබේ නම්, ඔහු අපවිත්‍ර යැයි පූජකයා නිවේදන කළ යුතු ය. එය කුෂ්ඨ රෝගයකි.
9“යමකුට කුෂ්ඨ රෝගයක් වේ නම්, පූජකයා වෙත ඔහු පැමිණ විය යුතු ය. 10පූජකයා, ඔහු පිරික්සිය යුතු ය. ඔහුගේ හම මතු පිට සුදු පැහැවන් තඩිස්සියක් හා එතැන අමු මස් මතු වී, රෝම සුදු ගැන්වී තිබේ නම්, 11එය නිදන්ගත කුෂ්ඨ රෝගයකි. ඔහු අපවිත්‍ර වග පූජකයා නිවේදන කළ යුතු ය. ඔහු දැනටමත් අපවිත්‍ර ව සිටින බැවින්, ඔහු හුදකලා කොට තැබිය යුතු නො වේ.
12“කුෂ්ඨය, එය වැලඳුණු අයගේ හිස පටන් පාදාන්තය දක්වා මුළු හම වසා පැතිර, ඒ වග පූජකයාට පෙනෙන පරිදි තිබේ නම්, 13පූජකයා ඔහු පිරික්සිය යුතු ය. කුෂ්ඨය, රෝගියාගේ සිරුර මුළුමනින් වසා පැතිර ඇත්නම්, ඔහු පවිත්‍ර වග පූජකයා නිවේදන කළ යුතු ය. ඔහුගේ මුළු ගතම සුදු පැහැ ගැන්වී ඇති බැවින්, ඔහු පවිත්‍ර ය. 14එහෙත් ඔහුගේ අමු මස පෙනෙන්නට වන් කල, ඔහු අපවිත්‍ර වේ. 15අමු මස දුටු කල පූජකයා, ඔහු අපවිත්‍ර වග නිවේදන කළ යුතු ය. අමු මස අපවිත්‍ර ය. කුෂ්ඨ රෝගයක් ඔහුට වැලඳී ඇත. 16එහෙත් අමු මස සුදු පැහැ ගැන්වුණහොත්, ඔහු යළි පූජකයා වෙත යා යුතු ය. 17පූජකයා ඔහු පිරික්සිය යුතු ය. එකල තුවාල සුදු පැහැ ගැන්වී ඇත්නම්, එම රෝගියා පවිත්‍ර වග පූජකයා ප්‍රකාශ කළ යුතු ය. එවිට ඔහු පවිත්‍ර වේ.
18“යමකුගේ හම පිට ගඩුවක් හටගැනී, එය සුව වූ පසු, 19ගඩුව තිබූ තැන සුදු පැහැති බිබිලක් හෝ රෝස පැහැති ලපයක් හෝ ඇති වුවහොත්, ඔහු පූජකයා ඉදිරියේ පෙනී සිටිය යුතු ය. 20පූජකයා, එතැන පිරික්සා, ඒ ලපය, හමේ සෙසු තැන්වලට වඩා හෑරී, එහි රෝම සුදු ගැන්වී ඇති වග පෙනී ගියහොත්, ඔහු අපවිත්‍ර වග ප්‍රකාශ කළ යුතු ය. එය ගඩුව කලින් තිබූ තැන හටගත් කුෂ්ඨ රෝගයකි. 21එහෙත් පූජකයා පිරික්සන කල ලපය මතු පිට සුදු රෝම නොමැතිව, හම යටට නො හෑරී, මැලවී ඇති වග පෙනී ගියහොත්, හත් දවසක් ඔහු හුදකලා කර තැබීමට පූජකයා පියවර ගත යුතු ය. 22එය හම පිට පැතිර යා නම්, ඔහු අපවිත්‍ර වග පූජකයා ප්‍රකාශ කළ යුතු ය. එය ආසාදනයකි. 23එහෙත්, ලපය නො වෙනස් ව, එය හම පිට නො පැතිර ඇත්නම්, එය ගඩුව නිසා ඇති වූ කැළලක් පමණි. එබැවින් ඔහු පවිත්‍ර වග පූජකයා ප්‍රකාශ කළ යුතු ය.
24“යමකුගේ හම පිලිස්සී, පිලිස්සුණු තැන අමු මස මතු පිට ලා රතු හෝ සුදු පැහැ ලපයක් ඇති වී නම්, 25පූජකයා එම ලපය පිරික්සිය යුතු ය. ලපය මතු පිට රෝම, සුදු පැහැ ගැන්වී, හම යටට හෑරී තිබේ නම්, එය පිලිස්සුණු තුවාලයෙන් හටගත් කුෂ්ඨයකි. ඔහු අපවිත්‍ර වග පූජකයා නිවේදන කළ යුතු ය. එය කුෂ්ඨ රෝගයකි. 26එහෙත් පූජකයා පිරික්සන කල, ලපය මතු පිට රෝම සුදු පැහැ නො වී, හම යටට නො හෑරී, එහෙත් මැලවී තිබේ නම්, පූජකයා හත් දවසක් ඔහු හුදකලාව තැබිය යුතු ය. 27හත් වන දවසේ පූජකයා ඔහු පිරික්සිය යුතු ය. එවිට ලපය, හමේ පැතිර තිබේ නම්, ඔහු අපවිත්‍ර වග පූජකයා නිවේදන කළ යුතු ය. එය කුෂ්ඨ රෝගයකි. 28එහෙත් ලපය නො වෙනස් ව, හමේ නො පැතිර, එය මැලවී ඇත්නම්, එය පිලිස්සීමෙන් ඇති වූ ඉදිමුමකි. ඔහු පවිත්‍ර වග පූජකයා නිවේදන කළ යුතු වේ. එය පිලිස්සීමෙන් වූ කැළලක් පමණි.
29“යම් පුරුෂයකුගේ හෝ ස්ත්‍රියකගේ හිසේ නැතහොත් නිකටේ කුෂ්ඨ ඇති වූ කල, 30පූජකයා එය පිරික්සිය යුතු ය. කුෂ්ඨය ඇති තැන, සෙසු සමට වඩා පහත් ව, ඒ පිට ඇති රෝම නැතහොත් කෙස්, කහ පැහැ ව, සිනිඳු ව ඇත්නම්, ඔහු හෝ ඇය හෝ අපවිත්‍ර වග පූජකයා නිවේදන කළ යුතු ය. එය දදයකි. හිසේ හෝ නිකටේ හෝ හටගත් කුෂ්ඨ රෝගයකි. 31එහෙත්, පූජකයා එබඳු කුෂ්ඨයක් පිරික්සන කල, එය හම යටට කා-වැදී නැති වග හා ඒ මත කළු රෝම නැති වග පෙනේ නම්, පූජකයා හත් දවසක් එම රෝගියා හුදකලාව තැබිය යුතු ය. 32හත් වන දවසේ පූජකයා කුෂ්ඨය යළි පිරික්සිය යුතු ය. එකල දදය හමේ නො පැතිර, ඒ මත රෝම කහ පැහැ නො වී, හම යටට එය හෑරී නැති නම්, 33එම ආසාදිත කොටස හැර, ඔහු තම හිස නිකට මුඩු කර ගත යුතු ය. පූජකයා තවත් හත් දවසක් ඔහු හුදකලා කොට තැබිය යුතු ය. 34හත් වන දවසේ පූජකයා යළි දදය පිරික්සිය යුතු ය. එය හමේ නො පැතිර, හම යටට නො හෑරුණු වග පෙනේ නම්, ඔහු පවිත්‍ර වග පූජකයා ප්‍රකාශ කළ යුතු ය. ඒ අය තම හැඳිවත් සෝදා ගත යුතු ය. එවිට ඔහු පවිත්‍ර වේ. 35එහෙත් ඔහු පවිත්‍ර බවට ප්‍රකාශ කළ පසු දදය පැතිර යා නම්, 36පූජකයා යළි ඔහු පිරික්සිය යුතු ය. දදය හමේ පැතිර ඇත්නම්, කහ පැහැ රෝම ගැන බැලීමේ වුවමනාවක් නැත: ඔහු අපවිත්‍ර ය. 37එසේ වුව ද, පිරික්සීමේ දී දදය පැතිරීම නැවතී, ඒ මත කළු රෝම වැඩෙන වග පෙනේ නම්, දදය සුව වී ඇත. ඔහු පවිත්‍ර වග පූජකයා ප්‍රකාශ කළ යුතු ය.
38“යම් පුරුෂයකුගේ හෝ ස්ත්‍රියකගේ හෝ හමේ සුදු ලප මතු වුවහොත්, 39පූජකයා ඒවා පිරික්සිය යුතු ය. එම ලප, එවිට සුදුමැලි ව තිබේ නම්, ඒ හමේ හට ගැනුණු, හානියකින් තොර හමේ දිලීරයකි. ඒ අය පවිත්‍ර ය.
40“යමකුගේ හිස කෙස් වැටී, තට්ටය පෑදුන ද, හෙතෙම පවිත්‍ර ය. 41ඔහුගේ නළලට ඉහළින් හිස කෙස් වැටී, හිසේ ඉදිරි කොටස තට්ටය පෑදුණ ද ඔහු පවිත්‍ර ය. 42එහෙත් ඔහුගේ මුඩු හිසේ හෝ මුඩු නළලේ හෝ ලා-රත් පැහැ කුෂ්ඨයක් හට ගතහොත්, එය ඔහුගේ හිසේ හෝ නළලේ හෝ හටගත් කුෂ්ඨ රෝගයකි. 43පූජකයා ඔහු පිරික්සිය යුතු ය. ඔහුගේ මුඩු හිසේ හෝ මුඩු නළලේ ඇති කුෂ්ඨ ඉදිමුම, කුෂ්ඨ රෝගයකදී මෙන් ලා-රත් පැහැ ගැන්වී නම්, 44ඔහු කුෂ්ඨ රෝගියෙකි; ඔහු අපවිත්‍ර ය. ඔහුගේ හිසේ කුෂ්ඨය බැවින් ඔහු අපවිත්‍ර වග පූජකයා ප්‍රකාශ කළ යුතු ය.
45“එබඳු කුෂ්ඨ රෝගියකු ඇඟලිය යුත්තේ, ඉරීගිය ඇඳුම් ය. ඔහු තම හිසකේ අවුල් ව තිබෙන්නට හැර, උඩු රැවුල පටන් පහළට මුහුණ වසාගෙන, ‘අපවිත්‍ර ය! අපවිත්‍ර යැ!’ යි හඬ ගෑ යුතු ය. 46මෙම රෝගයෙන් පෙළෙන තාක්, ඔහු අපවිත්‍ර ව සිටී. ඔහු, සෙසු ජනයාගෙන් වෙන් ව, කඳවුරෙන් පිටත හුදකලාව විසිය යුතු ය.
තවත් කුෂ්ඨ රෝග
47“යම් ඇඳුමක කුෂ්ඨ රෝගය හටගෙන තිබේ නම්, එය හණ රෙද්දක් හෝ ලොම් රෙද්දක් හෝ වුව ද, 48එය හණවලින් නැතහොත් ලොම්වලින් වියන ලද්දක් හෝ ගොතන ලද්දක් හෝ වුව ද, එය හමක් හෝ හමින් සාදන ලද්දක් හෝ වුව ද, 49එම රෙද්දේ හෝ හම් ඇඳුමේ හෝ වියන ලද නොහොත් ගොතන ලද හණ-පිළියේ හෝ ලොම් ඇඳුමේ හෝ යම් හම් ඇඳුමක හෝ කුෂ්ඨය හටගෙන, එය රත් පැහැයෙන් හෝ කොළ පැහැයෙන් හෝ යුතු වේ නම්, එය කුෂ්ඨ රෝගයකි. එය පූජකයාට පෙන්විය යුතු ය. 50පූජකයා එය පිරික්සා බලා, අදාළ රෙදි කඩ දවස් හතක් වෙන් කොට තැබිය යුතු ය. 51හත් වන දවසේ ඔහු එය යළි පිරික්සිය යුතු ය. එවිට එම ඇඳුමේ හෝ වියන ලද නොහොත් ගොතන ලද රෙද්දේ හෝ කවර කාරියකට වුව ගැනෙන හම් පිළියේ හෝ එය පැතිර ඇත්නම්, එය සැර කුෂ්ඨ රෝගයකි. එම රෙදි කඩ අපවිත්‍ර ය. 52රෝගය සහිත එම ඇඳුම හෝ වියන ලද නොහොත් ගොතන ලද රෙද්දක් හෝ හම් පිළිය හෝ පුලුස්සා දැමිය යුතු ය. මන්ද එය සැර කුෂ්ඨයක් හෙයින් එය මුළුමනින් ම පුලුස්සා දැමිය යුතු ය.
53“එහෙත් පූජකයා පිරික්සන කල, එම ඇඳුමේ හෝ වියන ලද නොහොත් ගොතන ලද රෙද්දේ හෝ එම හම් පිළියේ හෝ වූ රෝගය පැතිර නො තිබිණි නම්, 54රෝගය සහිත එම රෙද්ද සෝදන ලෙස පූජකයා උපදෙස් දිය යුතු ය. ඉන්පසු තවත් හත් දවසක් එය වෙන් කොට තැබිය යුතු ය. 55අදාළ භාණ්ඩය සේදූ පසු පූජකයා එය පිරික්සිය යුතු ය. එහි රෝගය පැතිර තිබුණේ නැති වුව ද, රෝගයේ පෙනුම නො වෙනස් ව තිබේ නම්, එය අපවිත්‍ර ය. රෝගය ඇත්තේ එහි හොඳපිට හෝ කණපිට හෝ වුව ද, එය ගිනි ලා පිලිස්සිය යුතු ය. 56පූජකයා එසේ පිරික්සන කල, සෝදන ලද භාණ්ඩයේ රෝගය තිබූ තැන මැලවී ඇත්නම්, එම ඇඳුමේ හෝ හම් පිළියේ හෝ වියන ලද නොහොත් ගොතන ලද රෙද්දේ හෝ රෝග සහිත කොටස පූජකයා ඉරා දැමිය යුතු ය. 57එහෙත්, ඒ ඇඳුමේ හෝ හම් පිළියේ හෝ වියන ලද නොහොත් ගොතන ලද රෙද්දේ හෝ වූ රෝගය යළි දිස් වේ නම්, එය පැතිර යමින් තිබේ. එවිට ඒ කවරක් වුව ද, ගිනි ලා පිලිස්සිය යුතු ය. 58එසේ වුව ද අදාළ ඇඳුම හෝ වියන ලද නොහොත් ගොතන ලද රෙද්ද හෝ හම් පිළිය හෝ සේදූ පසු, රෝග ලක්ෂණ මැකී ඇත්නම්, එය යළි සේදිය යුතු ය. එවිට එය පවිත්‍ර වන්නේ යැ” යි පැවසූ සේක.
59කුෂ්ඨය හට ගැනුණු හණ ඇඳුමක් නොහොත් ලොම් ඇඳුමක් හෝ වියන ලද නොහොත් ගොතන ලද රෙද්දක් හෝ හම් පිළියක් හෝ සම්බන්ධයෙන් එය පවිත්‍ර ද, අපවිත්‍ර ද යන්න ප්‍රකාශ කිරීමේ නියමයන් ඒවා ය.

Currently Selected:

ලෙවී 13: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in