විලාප ගී 3
3
1 ස්වාමින්වහන්සේගේ උදහසේ ඉපලෙන්
දුක් පීඩා අත්දුටු මිනිසා මා ය.
2උන්වහන්සේ ඉවතට මා පලවා හැර, ආලෝකයක් නැති,
අන්ධකාරයෙහි මට ඇවිදින්නට සැලසූ සේක.
3සැබවින් ම උන්වහන්සේ දවස මුළුල්ලේ
යළි යළිත් මට එරෙහිව තම හස්තය එසවූ සේක.
4උන්වහන්සේ මගේ හමත්, මගේ මසත් දිරා යන්නට සැලසූ සේක්,
මගේ ඇටකටු බිඳ දැමූ සේක.
5උන්වහන්සේ දුක් දොම්නස්වලින් හා පීඩා උවදුරුවලින්
මා වටකර ලූ සේක.
6උන්වහන්සේ මට අන්ධකාරයෙහි සිටින්නට සැලැස්වූයේ,
දිගු කලකට ඉහත මියැදුණුවුන් සිටින පරිද්දෙනි.
7මට පැන යන්නට බැරි ලෙස උන්වහන්සේ,
තාප්පයකින් මා වට කළ සේක්, බර දම්වැලකින් මා බැඳ දැමූ සේක.
8පිහිට වන ලෙස ඉල්ලා මා මොර ගසන විටදී,
උන්වහන්සේ මගේ යාච්ඤාවට කන් වසා ගත් සේක.
9කැපූ ගලින් උන්වහන්සේ මගේ මාර්ගය ඇහුරූ සේක්,
මගේ මාවත අවහිර කළ සේක.
10යන මග රැක සිටින වලසකු සේ ද
රහසේ සැඟවී සිටින සිංහයකු සේ ද
11උන්වහන්සේ මාර්ගයෙන් ඉවතට මා ඇදගෙන ගොස්, මා ඉරා දැමූ සේක්,
අනාථ අසරණ භාවයට මා පත් කළ සේක.
12උන්වහන්සේ දුනු-දිය ඇද,
තම හීවලට මා ඉලක්ක කළ සේක.
13උන්වහන්සේ තම හී කොපුවේ එක එක හීයෙන්
මගේ හද ඇතුළට ම විද්ද සේක;
14මගේ මුළු ජනතාවට මා සිනහවට ඉලක්කයක් විණ;
දවස පුරා ඔවුහු කවට ගීයෙන් මට සමච්චල් කළහ.
15උන්වහන්සේ දොම්නසේ තික්තකමින් මා පුරවා,
තිත්ත කදුරු මට බොන්නට දුන් සේක.
16උන්වහන්සේ බොරලු හපන්නට දී, මගේ දත් කැඩූ සේක;
උන්වහන්සේ දූලියෙහි මා පාගා දැමූ සේක.
17ශාන්තිය මා වෙතින් දුරු කරනු ලැබ ඇත;
සමෘද්ධිය කවරේදැයි මට අමතක ව ගොසිනි.
18එබැවින් මම මෙසේ කියමි: “මගේ ශක්තිය පහව ගොසිනි;
ස්වාමින්වහන්සේ තුළ මගේ සියලු බලාපොරොත්තු සිඳී ගොසිනි.”
19තිත්ත දොම්නස් හා තිත්ත කදුරු වන්
මගේ දුක් පීඩා හා මගේ මුළාවීම් මම සිහි කරමි.
20ඒවා මට හොඳින් මතකය;
මගේ ජීවය මා තුළෙහි ම, දුර්මුඛ වී ඇත.
21එහෙත්, මෙන්න මෙය මම සිහියට ගන්නේ,
මට බලාපොරොත්තුවක් ඇති බැවිනි.
22අප වැනසී නො ගියේ, ස්වාමින්වහන්සේගේ නො සැලෙන ප්‍රේමය නිසා ය;
මන්ද, උන්වහන්සේගේ දයාවන් කිසි දා සිඳී යන්නේ නැත.
23උදයෙන් උදය ඒවා අලුත් වන්නේ ය;
ඔබගේ විශ්වසනීයත්වය අති මහත් ය.
24“මගේ පංගුව ස්වාමින්වහන්සේ ය.
එබැවින් මම උන්වහන්සේ දෙස ම බලා සිටින්නෙමි” යි මම මා තුළ ම කියා ගනිමි.
25උන්වහන්සේ තුළ බලාපොරොත්තු තැබූවනට ද
උන්වහන්සේ සොයන්නන්ට ද ස්වාමින්වහන්සේ යහපත් ය.
26 ස්වාමින්වහන්සේගේ ගැලවීම සන්සුන් ව බලා හිඳීම
කෙනකුට හොඳ ය.
27තම යොවුන් වියෙහි දී ම වියගහ දැරීම
කවරකුට වුව හොඳ ය.
28එය ඔහු පිට තබා ඇත්තේ, උන්වහන්සේ ම වන බැවින්,
ඔහු සන්සුන් ව තනි ව හිඳ, එය දැරුවා වේ.
29තවමත් බලාපොරොත්තු තිබිය හැකි බැවින්
ඔහු තම මුහුණ දූලියෙහි හොවා ගත්තා වේ.
30තමාට පහර දෙන්නාට ඔහු තම කම්මුල පෑවා වේ;
නින්දාවෙන් ඔහු පුරවනු ලැබුවා වේ!
31මන්ද, ස්වාමින්වහන්සේ සදහට ම
කිසිවකුවත් අතැර නො දමන සේක.
32උන්වහන්සේ ශෝකය දුක පමුණු වන නමුදු, අනුකම්පා පානා සේක.
උන්වහන්සේගේ නො සැලෙන ප්‍රේමය ඒ සා ඉමහත් ය.
33මන්ද, ස්වකීය කැමැත්තෙන් ම උන්වහන්සේ
මිනිස් වර්ගයාට හිංසා-පීඩා හෝ සෝ-දුක් හෝ පමුණුවන්නේ නැත.
34දේශයේ සිරකාර සියල්ලන්
පාගා පොඩිකර දැමීමත්,
35මහෝත්තමයාණන් ඉදිරියෙහි
මානව හිමිකම් අහිමි කිරීමත්,
36කෙනකුගේ යුක්තිය පෙරළීමත් යන දෑ
ස්වාමියාණන් නො බලා සිටින සේක් ද?
37ස්වාමියාණන් නියම කර නැති නම් යමක් පවසා,
එය ඉෂ්ට කළ හැක්කේ කවරකුට ද?
38විපත්තිය හා සුබ සෙත යන දෙක ම නික්ම එන්නේ,
මහෝත්තමයාණන්ගේ මුවින් නො වේ ද?
39තම පාපයට විපාක ලබන කල,
මිනිසෙක්, ජීවත් වන මිනිසෙක්, මැසිවිලි නගන්නේ මන්ද?
40අපගේ මාර්ග විභාග කර, පරීක්ෂා කර ගෙන,
ස්වාමින්වහන්සේ වෙත ආපසු හැරෙමු.
41අපි අපගේ හදවත් ද අපගේ අත් ද
ස්වර්ගයේ දෙවියන්වහන්සේ වෙත ඔසවා, මෙසේ කියමු:
42“අපි පව් කළෙමු; කැරලි ගැසුවෙමු;
ඔබවහන්සේ කමා කළේ නැත.
43“ඔබ කෝපය දවටාගෙන අප ලුහුබැඳි සේක්,
අනුකම්පාවක් නැතිව අප ඝාතන කළ සේක.
44ඔබ වලාකුළක් පොරවා ගත්තේ,
යාච්ඤාවකට ඔබ වෙත ළඟා විය නො හැකි වන පරිද්දෙනි.
45ඔබවහන්සේ ජාතීන් අතරෙහි
අප කුණු හා කැළි කසළ වන්නට සැලසූ සේක.
46“අපේ සියලු සතුරන් අපට එරෙහිව
මුව අයාගෙන ය.
47භීතිය හා මර උගුල් ද වැනසීම හා විනාශය ද
අප පිට පැමිණ ඇත.”
48මගේ ජනයා වූ දියණියගේ විනාශය නිසා
මගේ දෑසින් කඳුළු ගංගා ගලයි.
49නො නැවත, නිරතුරු ව
මගේ ඇස්වලින් කඳුළු ගලන්නේ,
50 ස්වාමින්වහන්සේ ස්වර්ගයේ සිට
පහත බලා, දකින තෙක් ය.
51මගේ පුරවරයේ කාන්තාවන්ගේ දුක්ඛිත ඉරණම දකින විට
මා සිත් කම්පා වේ.
52හේතුවක් නැතිව ම මට සතුරු වූවෝ,
කුරුලු දඩයමක් සේ මා කොටු කර ගත්හ.
53පණ පිටින් මා වළක හෙළූ ඔවුහු
මා පිට ගල් හෙළූහ.
54ජලය මගේ ඉහට උඩින් ගලා ගියෙන්,
“ඉතින් මා ඉවර යැ” යි මම සිතීමි.
55නරාවළේ ගැඹුරේ සිට අහෝ ස්වාමින්වහන්ස,
මම ඔබගේ නාමය කියා කෑ ගැසුවෙමි.
56මගේ යැදුම ඔබ ඇසූ සේක: උදවු ඉල්ලා මා හඬ ගසන කල,
ඔබගේ කන් වසා නො ගත මැනව.
57මා හඬ ගැසූ කල, මට ළං වූ ඔබ,
“භය නො වන්නැ” යි කී සේක.
58අහෝ සමිඳුනි, ඔබ මා උදෙසා කරුණු කී සේක්,
මගේ ජීවිතය මුදා ගත් සේක.
59අහෝ ස්වාමින්වහන්ස, මට කරන ලද අසාධාරණය ඔබ දුටු සේක;
මට යුක්තිය ඉටු කර දුන මැනව.
60ඔවුන්ගේ සියලු පළිගැනීම් ද
මට එරෙහි ඔවුන්ගේ සියලු කුමන්ත්‍රණ ඔබ දුටු සේක.
61අහෝ ස්වාමින්වහන්ස, ඔවුන්ගේ අවලාද,
මට එරෙහි ඔවුන්ගේ සියලු කුමන්ත්‍රණ,
62මගේ සතුරන් මට එරෙහිව දවස මුළුල්ලේ කොඳුරමින්,
නැගූ මැසිවිලි ඔබ ඇසූ සේක.
63බැලුව මැනවි, හිඳ ගත්ත ද සිට ගත්ත ද
ඔවුන් කරන්නේ තම කවි සින්දුවලින් මට සරදම් කිරීම ය.
64ඔවුන් තම අත්වලින් කළ දෑට හිමි නිසි දඬුවම්
ඔවුන්ට දුන මැනව, අහෝ ස්වාමින්වහන්ස.
65ඔවුන්ගේ හදවත් ගල් කළ මැනව;
ඔබගේ ශාපය ඔවුන් පිට වේවා!
66කෝපයෙන් ඔවුන් ලුහුබැඳ ගොස්,
ස්වාමින්වහන්සේගේ අහස යටින් ඔවුන් අතු ගා දැමුව මැනව.
Currently Selected:
විලාප ගී 3: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.