යෝෂුවා 24:2-13
යෝෂුවා 24:2-13 SCV
යෝෂුවා මුළු ජනතාව අමතමින්, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ඈත අතීතයේ ආබ්‍රහම්ගේ හා නාහෝර්ගේ පියා වූ තේරා ඇතුළු ඔබේ ආදි පියවරු, ගංගාවෙන් එතෙර වාසය කළෝ, අන් දෙවිවරුන්ට සේවය කළෝ ය. එහෙත් මම ගඟ එතෙරින් ඔබේ පිය ආබ්‍රහම් ගෙන, කානාන් දේශය පුරා ඔහු ගෙන ගොස්, ඔහුට මහත් දරු පරපුරක් දුන්නෙමි; මම ඔහුට ඊසාක් දුන්නෙමි; ඊසාක්ට මම යාකොබ් හා ඒසව් දුන්නෙමි. ඒසව්ට සේයිර් කඳුරට අයිති කර ගන්නට දුන්නෙමි. එහෙත් යාකොබ් සහ ඔහුගේ පුත්තු ඊජිප්තුවට ගියහ. “ ‘ඉන්පසු මම මෝසෙස් හා ආරොන් යැවුවෙමි. ඒ මධ්‍යයේ මා කළ දෙයින් ඊජිප්තුවට වසංගත පැමිණ වීමි. පසුව මම නුඹලා පිටතට ගෙනාවෙමි. මා ඔබේ පියවරුන් ඊජිප්තුවෙන් පිටතට ගෙනා කල, නුඹලා මුහුද ළඟට ආහ. එවිට ඊජිප්තුවරු යුද්ධ රථ හා අසරුවන් ගෙන, රතු මුහුද දක්වා ඔබේ පියවරුන් ලුහුබැඳ ආහ. එතැනදී ඔවුහු ස්වාමින්වහන්සේට මොර ගැසූ කල, උන්වහන්සේ නුඹලා සහ ඊජිප්තුවරුන් අතර අන්ධකාරය තැබූ සේක; උන්වහන්සේ මුහුද, ඔවුන් පිටට ගෙනවුත්, ඔවුන් වසා ගන්නට සැලසූ සේක. මා ඊජිප්තුවරුනට කළ දෑ ඔබගේ ඇස්වලින් ම ඔබ දුටුවහ. එයින් පසු ඔබ පාළුකරයේ දිගු කලක් ගත කළහ. “ ‘ඉන්පසු මම යොර්දානෙන් අනෙක් පැත්තේ විසූ අමෝරිවරුන්ගේ දේශයට නුඹලා ගෙනාවෙමි. ඔවුහු ඔබ සමඟ සටන් කළහ. මම ඔවුන් ඔබේ අතට දුන්නෙමි. ඔබ ඔවුන්ගේ දේශය අත්කර ගත්හ. මම ඔවුන් ඔබ ඉදිරිපිටින් වනසා දැමීමි. පසුව සිප්පෝර්ගේ පුත්, මෝවබ් රජු වූ බාලාක්, ඉශ්‍රායෙල්ට එරෙහිව සටනට සැරසුණේ ය. ඔහු බෙයෝර්ගේ පුත් බාලාම් වෙත පණිවුඩ යවා, ඔහුට ඇරියුම් කළේ, ඔබ පිට ශාපයක් තබන පිණිසයි. එහෙත් මා බාලාම්ට සවන් දුන්නේ නැත. එබැවින් ඔහු ඔබට ආශිර්වාද කළේ ය. මෙසේ මම ඔහුගේ අතින් ඔබ මිදු වෙමි. “ ‘ඉන්පසු ඔබ යොර්දානෙන් එතෙර වී, යෙරිකෝවට පැමිණියහ. එවිට යෙරිකෝ පුරවාසීහු ඔබට එරෙහිව සටන් වැදුණහ. තවද අමෝරිවරුන්, පෙරිස්සිවරුන්, කානානිවරුන්, හිත්තිවරුන්, ගිර්ගාෂිවරුන්, හිවීවරුන් හා යෙබූසිවරුන් ද ඒ දේ ම කළහ. එහෙත් මම ඔබ අතට ඔවුන් හසුකර දුන්නෙමි. මම ඔබට පෙරටුව දෙබරුන් යැවීමි. උන් ඔබ ඉදිරියෙන් අමෝරි රජවරුන් දෙදෙනා පන්නා දැමූහ. එය ඔබේ කඩුවෙන්වත්, දුන්නෙන්වත් කළ දෙයක් නො වේ. මෙසේ ඔබ වෙහෙස නො වූ දේශයක් ද ඔබ ගොඩ නැගුවේ නැති පුරවර ද මම ඔබට දුන්නෙමි. ඔබ වාසය කරන්නේ ඒවායේ ය. ඔබ අනුභව කරන්නේ ඔබ වගා කළේ නැති මිදි වතුවලින් හා ඔලීව අරඹවලින් වූ පලදාව ය.’

![[Spirit of Leadership] Practice යෝෂුවා 24:2-13 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F25834%2F1440x810.jpg&w=3840&q=75)



