යෝෂුවා 14:6-15
යෝෂුවා 14:6-15 SCV
ඉන්පසු යූදා ජනයා යෝෂුවා වෙත ගිල්ගාල්ට ආහ. එවිට කෙනිස්සීය යෙෆුන්නෙගේ පුත් කාලෙබ් ඔහු අමතා, “කාදෙෂ්-බර්නේයහි දී දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ මෝසෙස්ට ඔබත්, මාත් පිළිබඳව ස්වාමින්වහන්සේ පැවසූ දෑ ඔබ දනී. දේශයේ ඔත්තු බලන පිණිස ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් කාදෙෂ්-බර්නේය සිට මා යැවූ කල, මම හතළිස් වියැති වීමි. මම ඔහු වෙත මගේ හදවතේ වූ වචනය ගෙනාවෙමි. එහෙත් මා සමඟ ගිය මගේ සහෝදරයෝ, ජනතාවගේ හදවත්, දියවී යන්නට සැලැස්වූහ. එසේ වුව ද, මම මගේ මුළු හෘදයෙන් ම මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අනුව ගියෙමි. එබැවින් ඒ දවසේ මෝසෙස් දිවුරා පැවසුවේ, ‘ඔබ, ඔබේ මුළු හෘදයෙන් ම මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අනුව ගිය බැවින්, ඔබ පා පය ගසන ලද දේශය සදහට ම ඔබේ ද ඔබේ දරු පරපුරේ ද උරුමය වනු ඇත’ කියා ය. “බලන්න! පාළුකරය ඔස්සේ ඉශ්‍රායෙල්, ගමන් කරමින් සිටියදී ස්වාමින්වහන්සේ මෝසෙස්ට එසේ කී කාලයේ සිට උන්වහන්සේ පොරොන්දු වූ පරිදි හතළිස්පස් වසරක් ම ජීවත් ව සිටින්නට මට සලසා ඇති වග ඔබට පෙනේ. එබැවින් මෙන්න, මම අද අසූපස් වැනි වියේ සිටිමි. මෝසෙස් මා පිටත් කර යැවූ දවසේ මෙන්, අද තවමත් මා ශක්තිමත් ය; යුද්ධයට යෑමට සහ ඊමටත් මගේ කාය බලය අදත් එදා වගේ ම ය. එබැවින් ස්වාමින්වහන්සේ ඒ දවසේ පැවසූ මේ කඳුරට දැන් මට දෙන්න. මන්ද මහ බළකොටු පුරවරවල අනාක්වරු සිටින හැටි ඔබටත් ඒ දවසේ ඇසුණි. එහෙත් ස්වාමින්වහන්සේ මා සමඟ වන සේක් නම්, උන්වහන්සේ පැවසූ පරිදි මම ඔවුන් පන්නා දමන්නෙමි” යි පැවසී ය. එවිට යෝෂුවා ඔහුට ආශිර්වාද කළේ ය. තවද ඔහු යෙෆුන්නෙගේ පුත් කාලෙබ්ට උරුමයක් වශයෙන් හෙබ්‍රොන් දුන්නේ ය. එබැවින් හෙබ්‍රොන්, අද දවස දක්වා කෙනිස්සීය යෙෆුන්නෙගේ පුත් කාලෙබ්ගේ උරුමයට පත් විය. මන්ද ඔහු මුළු හෘදයෙන් ම ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අනුව ගිය බැවිනි. හෙබ්‍රොන් නාමය පෙරදී කිර්යත්-අර්බා ය. මෙම අර්බා, අනාක්වරුන් අතරේ ශ්‍රේෂ්ඨතම මිනිසා විය. ඉන්පසු දේශය යුද්ධයෙන් විශ්‍රාමය ලැබී ය.





