YouVersion Logo
Search Icon

යෝෂුවා 11:16-23

යෝෂුවා 11:16-23 SCV

මෙසේ යෝෂුවා මුළු දේශය ම අත්කර ගත්තේ ය. එනම් කඳුකරය හා මුළු නෙගෙබ් පළාත, මුළු ගෝෂෙන් දේශය, බටහිර කඳු බෑවුම් හා අරාබා, ඉශ්‍රායෙල් කඳුරට හා එහි කඳු බෑවුම්; සේයිර් දෙසට විහිදී යන හාලක් කන්ද පටන් හෙර්මොන් කන්දට පහළ ලෙබනොන් මිටියාවතේ බාල්-ගාද් දක්වා දේශය ද වේ. ඔවුන්ගේ රජවරුන් හැම අල්ලා ගත් ඔහු ඔවුන් ගසා හෙළමින්, මරා දැමී ය. යෝෂුවා ඒ රජවරුන්ට එරෙහිව දිගු කලක් යුද්ධ කළේ ය. ගිබෙයොන්හි හිවීවරුන් හැර, ඉශ්‍රායෙල්වරුන් හා සාමයට ආ අන් කිසි පුරවරයක් නො වී ය. ඔවුහු ඒ සියල්ල අත්පත් කර ගත්තේ යුද්ධ කිරීමෙනි. මන්ද ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ දී තිබූ ලෙස දයාවෙන් තොර ව, ඔවුන් සහමුලින් විනාශ කරනු ලබන පිණිස, ඉශ්‍රායෙල්ට එරෙහිව යුද්ධ කරන්නට ඔවුන්ගේ හදවත් දැඩි කරන ලද්දේ ස්වාමින්වහන්සේ විසිනි. එකල යෝෂුවා අවුත්, කඳුකරයෙන්, හෙබ්‍රොන් වෙතින්, දෙබීර් වෙතින් හා අනාබ් වෙතින් ද යූදාහි මුළු කඳු රටින් ද ඉශ්‍රායෙල්හි මුළු කඳු රටෙන් ද අනාක්වරුන් අතු ගා දැමී ය. යෝෂුවා සහමුලින් ඔවුන් විනාශ කර දැමුවේ, ඔවුන්ගේ නගර ද සමඟ ය. ඉශ්‍රායෙල් දේශ සීමාව තුළ අනාක්වරු එක් කෙනෙක්වත් ඉතිරි ව සිටියේ නැත. එහෙත් ගාසා, ගාත් හා අෂ්දෝද්හි පමණක් ඇතමෙක් ඉතිරි ව සිටියහ. මෙසේ ස්වාමින්වහන්සේ මෝසෙස්ට පවසා තිබූ පරිදි යෝෂුවා මුළු දේශය ම අල්ලාගෙන, ඔවුන්ගේ ගෝත්‍රවල බෙදුම්වලට අනුව ඉශ්‍රායෙල්ට උරුමයක් කොට, එය බෙදා දුන්නේ ය. ඉන්පසු යුද්ධය නැවතී දේශයට විශ්‍රාමය ලැබිණ.