YouVersion Logo
Search Icon

යෝබ් 10

10
1“මගේ ම ජීවිතය මම අප්‍රිය කරමි;
එබැවින් මගේ පැමිණිල්ල විවෘත ව ම දක්වමින්,
මගේ ජීවයේ ශෝකයෙන් යුතු ව කතා කරන්නෙමි.
2මම දෙවියන්වහන්සේට මෙසේ කියන්නෙමි: මා වරදකරු ලෙස තීන්දු නො කළ මැනව;
එහෙත් මට එරෙහිව ඔබ චෝදනා කරන්නේ ඇයි දැයි පවසන්න.
3දුෂ්ටයින්ගේ උපාය මාර්ගවලට සතුට පල කරන අතරේ,
මා පීඩාවට පත් කිරීමෙන්,
ඔබගේ ම අත්වල නිපැයුම හෙළා දැකීමෙන් ඔබ සතුටක් ලබනවා ද?
4ඔබට පෘථග්ජන ඇස් තිබේ ද?
ඔබ බලන්නේ මේ මිනිස් අප බලන අයුරින් ම ද?
5ඔබගේ දවස් මිනිසුන්ගේ දවස් වගේ ද?
ඔබගේ අවුරුදු මිනිසාගේ අවුරුදු වගේ ද?
6එසේ නො වේ නම්, මගේ වැරදි සොය සොයා,
මගේ පාප සෝදිසියට ලක් කරන්නේ ඇයි?
7මා නිර්දෝෂ වග ද
ඔබ අතින් මා ගලවන්නට කිසිවකුට නුපුළුවන් වග ද ඔබ දන්නා සේක.
8“ඔබේ දෑත මා හැඩ ගස්වා, මා නිමැවී ය;
ඔබ ම ආපසු හැරී දැන් මා විනාශ කරන සේක් ද?
9ඔබ මා සෑදුවේ මැටිවලින් වග සිහි කළ මැනව;
දැන් ඔබ යළිත් මා දූවිල්ලට හරවන සේක් ද?
10ඔබවහන්සේ කිරි මෙන් මා වත්කර,
වෙඬරු සේ මා කැටිගැසූ සේක් නො වේ ද?
11හමෙන් හා මසින් මා වසා,
ඇට හා නහරවලින් මා එකට වියා,
12මට ජීවය දී, දයා ප්‍රේමය පෑ ඔබ
ඔබගේ මනා සැලකිල්ලෙන් මගේ ආත්මය රක්ෂා කළ සේක.
13“එහෙත් ඔබගේ සිතේ ඔබ සඟවා තබා ගත් දෑ මේ ය;
මෙය ඔබගේ සිතේ තිබූ වග මම දනිමි.
14මම පව් කළෙම් නම්, ඔබ ඒ ගැන විමසිල්ලෙන් බලා සිට,
මගේ වරදට දඬුවම් දීම මඟහරින්නේ නැත.
15මා වරදකාරී නම්, විපත්ති මා පිට වේවා!
මා නිර්දෝෂී වුව ද ලජ්ජාවෙන් පිරී,
පීඩාවේ ගිලී සිටින බැවින්,
මගේ හිස කෙළින් තබා ගන්නට මට නුපුළුවන;
16මා හිස ඔසවා තබා ගතහොත්, සිංහයකු සේ ඔබ මා ලුහුබැඳ,
මට එරෙහි ඔබේ විස්මිත බලය නැවතත් ඔබ ප්‍රදර්ශන කරනු ඇත.
17මට එරෙහිව ඔබ අලුත් සාක්ෂිකරුවන් ගෙනවුත්,
මවෙත ඇති ඔබගේ තරහව උත්සන්න කර,
මට එරෙහිව එක පිට එක නව බළඇණි මෙහෙය වන සේක.
18“ඉතින් ඔබ මවු කුසයෙන් පිටතට මා ගෙන ආවේ මන්ද?
කිසි ඇසකට දකින්න නො ලැබී මා මැරී සිටියා නම් යෙහෙක.
19අනේ කිසි දින මා මෙලොවට බිහි නූනා නම්!
නැතහොත් මවු කුස සිට කෙළින් ම මිනී වළට ගෙන යන ලද්දේ නම්!
20මගේ ස්වල්ප දවස්, දැනටමත් ගෙවී ඇතුවා නො වේ ද?
අනේ එක මොහොතක් මට ප්‍රීතියෙන් සිටින්නට හැකි වන පිණිස, මා වෙතින් ඉවත හැරුන මැනව.
21ආපසු නො එන ගමන යන්නට පෙර,
අන්ධකාරයේ හා ගැඹුරු සෙවණැල්ලේ දේශයට,
22ආලෝකය පවා අඳුරු වූ, ගැඹුරුතම රාත්‍රියේ දේශයට,
ගැඹුරු සෙවණැල්ලේ හා වියැවුලේ දේශයට
මා යන්නට කලින් එසේ කළ මැනව.”

Currently Selected:

යෝබ් 10: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in