YouVersion Logo
Search Icon

යොහන් 6:35-45

යොහන් 6:35-45 SCV

එවිට යේසුස්වහන්සේ, “ජීවනදායක රොටි මමයි; මා වෙත එන කවරකුට වුවත්, කිසි කල සාගිනි නො වේ. මා අදහා ගන්නා කවරකුට වුවත්, කිසි කල පිපාස නො වේ. එනමුත් මා ඔබට කී ලෙස ඔබ මා දුටුවහ; එහෙත් ඔබ මා අදහා ගන්නේ නැත. පියාණන්වහන්සේ මට දෙන සැවොම මා කරා එන්නෝ ය; මා වෙත එන කවරකු වුවත් කිසි කල මා ඉවත දමන්නේ නැත. මන්ද ස්වර්ගයෙන් බැස මා ආවේ, මගේ ම කැමැත්ත කරන්නට නො ව මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත ඉටු කරන්නටයි. මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත මෙයයි; උන්වහන්සේ මට දුන් සියල්ලන්ගෙන් එක් කෙනකුවත් නැති කර නො ගෙන, අවසන් දවසේ ඔවුන් නැගිටුවීමයි. මන්ද මගේ පියාණන්වහන්සේ කැමැත්ත නම්, ස්වකීය පුත්‍රයාණන් දෙස බලා, උන්වහන්සේ අදහා ගන්න හැම කෙනකු ම සදාතන ජීවනය ලැබීමයි. අවසාන දවසේදී මම ඔහු නැගිටුවන්නෙමි” යි පැවසූ සේක. මෙවිට, “ස්වර්ගයෙන් බැස ආ රොටි මම යැ” යි උන්වහන්සේ කී බැවින්, යුදෙව්වරු උන්වහන්සේ ගැන මැසිවිලි නගමින්, “මේ යේසුස්, අර යෝසෙප්ගේ පුතා නො වේ ද? මොහුගේ පියාත් මවත් අප හඳුනද්දී මොහු ස්වර්ගයෙන් බැස ආවා ය කියන්නේ කොහොම දැ?” යි පවසන්නට වූහ. “ඔබ අතරේ ඔය මැසිවිල්ල නවතන්නැ” යි පිළිතුරු දුන් යේසුස්වහන්සේ, “මා එවූ පියාණන්වහන්සේ විසින් ඇද ගනු ලබන කෙනකුට මිස, අන් කිසිවකුටත් මා වෙත ආ නො හැකියි. අවසාන දවසේදී මම ඔහු නැගිටුවන්නෙමි. ‘ඔබගේ පුතුන් සැවොම දෙවියන්වහන්සේ විසින් උගන්වනු ලබතියි’ දිවැසිවරුන් ලියා තියේ. පියාණන්වහන්සේට සවන් දුන්, උන්වහන්සේගෙන් ඉගෙන ගත් හැම කෙනෙක් ම මා වෙත එත්මැයි.