යොහන් 1:1-34
යොහන් 1:1-34 SCV
මූලාරම්භයේදී වචනයාණෝ සිටි සේක. වචනයාණෝ දෙවියන්වහන්සේ සමඟ සිටි සේක; වචනයාණෝ දෙවියන්වහන්සේ ව සිටි සේක; උන්වහන්සේ මූලාරම්භයේ දෙවියන්වහන්සේ සමඟ වූ සේක. සියල්ල මවන ලද්දේ උන්වහන්සේ මගිනි; මවන ලද කිසිවක් උන්වහන්සේගෙන් තොර ව මවනු නො ලැබුණි. ජීවනය උන්වහන්සේ තුළ විය. ඒ ජීවනය මිනිස් වර්ගයාගේ ආලෝකයයි. ඒ ආලෝකය අන්ධකාරයේ බබළයි; අන්ධකාරය එය යටපත් කළේ නැත. දෙවියන්වහන්සේ විසින් එවන ලද මනුෂ්‍යයෙක් විය; ඔහුගේ නම යොහන් ය. ඔහු පැමිණියේ ඔහු මගින් සියලු මිනිසුන් අදහා ගන්නා පිණිස ඒ ආලෝකය ගැන සාක්ෂි දෙන්නට සාක්ෂිකරුවකු ලෙස ය. ඔහු ඒ ආලෝකය නො වේ; ඔහු පැමිණියේ ඒ ආලෝකයේ සාක්ෂිකරුවකු ලෙස පමණි. හැම මනුෂ්‍යයකුට ම ආලෝකය දෙන සත්‍ය ආලෝකය, ලෝකයට එන්නට තිබුණේ ය. උන්වහන්සේ ලෝකයේ සිටි සේක; ලෝකය මවන ලද්දේ උන්වහන්සේ මගින් වුව ද, ලෝකයා උන්වහන්සේ හැඳින ගත්තේ නැත. උන්වහන්සේ ස්වකීය දෑ වෙත පැමිණි සේක; එහෙත් ස්වකීයයෝ උන්වහන්සේ නො පිළිගත්තෝ ය. එසේ වුවත්, උන්වහන්සේ පිළිගත් සියල්ලනට, උන්වහන්සේගේ නාමය තුළ අදහාගත් අයට දෙවියන්වහන්සේගේ දරුවන් වීමට උන්වහන්සේ වර දුන් සේක. ඔවුහු ලෙයින්වත්, මාංසයේ කැමැත්තෙන්වත්, මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නො ව, දෙවියන්වහන්සේගෙන් උපත ලද්දෝ ය. වචනයාණෝ මාංසය බවට පත් ව අප අතර වාසය කළ සේක; අනුග්‍රහයෙන් හා සත්‍යයෙන් පූර්ණ වූ උන්වහන්සේගේ තේජෝ මහිමය, පියාණන්වහන්සේ වෙතින් පැමිණි එක ම පුතුණුවන්ගේ තේජෝ මහිමය අපි දුටුවෙමු. යොහන් උන්වහන්සේ ගැන සාක්ෂි දරමින්, “ ‘මට පළමුවෙන් සිටි බැවින්, මට වඩා උත්තමයකු මට පසුව එතැ’ යි මා කීවේ මෙතුමාණන් ගැන යැ” යි මොර ගැසී ය. උන්වහන්සේගේ පූර්ණත්වයෙන් අප හැම අනුග්‍රහ පිට අනුග්‍රහ ලැබීමු. ව්‍යවස්ථාව දෙන ලද්දේ, මෝසෙස් මගිනි. අනුග්‍රහය හා සත්‍යය පැමිණියේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගිනි. කිසිවෙක්, කිසි කලෙක දෙවියන්වහන්සේ දැක නැත. එහෙත් උන්වහන්සේ හඳුන්වා දුන්නේ, පියාණන්වහන්සේගේ ළයෙහි සිටින එක ම පුත්‍ර වූ දෙවියන්වහන්සේ ම ය. “ඔබ කවරෙක් දැ?” යි අසන පිණිස, යුදෙව්වරුන් ඔහු වෙත යෙරුසලමේ සිට ලෙවීවරුන් හා පූජකයින් යැවූ කල, යොහන්ගේ සාක්ෂිය වූයේ මෙයයි: “මම ක්‍රිස්තුස්වහන්සේ නො වෙමි” යි ඔහු ප්‍රකාශ කළේ ය. එසේ ප්‍රකාශ කරන්නට ඔහු පැකුළුණේ නැත. “එහෙනම් ඔබ කවුරු ද? ඔබ එලියා දැ?” යි ඔවුහු ඇසූහ. “නැතැ” යි ඔහු කීවේ ය. “ඔබ දිවැසිවරයා දැ?” යි ඔවුහු ඇසූහ. ඔහු, “නැතැ” යි කීවේ ය. ඔවුහු යළි ප්‍රශ්න කරමින්, “එහෙනම් ඔබ කවුරු ද? අප එවූ අයට අප උත්තරයක් ගෙන යා යුතුයි; ඔබ කියන්නේ ඔබ කවුරුන්ය කියා දැ?” යි ඇසූහ. යොහන් පිළිතුරු දෙමින්, “යෙසායා දිවැසිවරයා පෙර කී අනාවැකිය පරිදි, ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය සෘජු ලෙස සකස් කරනු’ යි කී පාළුකරයේ හඬ ගසන්නාගේ කටහඬ මම යැ” යි පැවසී ය. එවිට පරිසිවරුන් විසින් එවනු ලැබූ අය, ඔහු අමතමින්, “ඔබ ක්‍රිස්තුස්වහන්සේවත්, එලියාවත්, දිවැසිවරයාවත් නො වේ නම්, ඔබ බව්තීස්ම කරන්නේ මොක දැ?” යි ඇසූහ. යොහන් පිළිතුරු දෙමින්, “මා බව්තීස්ම කරන්නේ වතුරිනි. එහෙත් ඔබ නො හඳුනන කෙනෙක් ඔබ අතරේ සිටින සේක; මට පසුව එන තැනැත්තාණෝ උන්වහන්සේයි; උන්වහන්සේගේ පාවහන් පටි මුදන්නට තරම් වත් මා වටින්නේ නැතැ” යි පැවසී ය. මේ සියල්ල සිදු වූයේ යොහන් බව්තීස්ම කරමින් සිටි යොර්දාන් නදියෙන් එතෙර පිහිටි බෙතානියේදී ය. පසු දා යේසුස්වහන්සේ තමන් දෙසට එනු දුටු යොහන් කතා කරමින්, “අන්න! ලෝකයේ පාපය දුරු කරන දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝ; ‘මට පළමුවෙන් සිටි බැවින්, මට වඩා උත්තම කෙනෙක් මට පසුව එතැ’ යි මා කීවේ මෙතුමාණන් ගැනයි. මා මෙතුමාණන් හැඳින සිටියේ නැහැ. එහෙත් මා මෙසේ වතුරින් බව්තීස්ම කරමින් ආවේ, ඉශ්‍රායෙල් ජනයාට මෙතුමාණන් එළිදරවු කිරීමට යැ” යි පැවසී ය. යොහන් සිය සාක්ෂිය දක්වමින්, “ආත්මයාණන් ස්වර්ගයේ සිට පරෙවියකු ලෙස බැස ඇවිත්, මෙතුමාණන් මත රැඳී සිටිනවා මා දැක්කා. මා මෙතුමාණන් හැඳින සිටියේ නැති නමුත්, වතුරින් බව්තීස්ම කරන්නට මා එවූ තැනැන්වහන්සේ මා අමතා, ‘ආත්මයාණන් බැස අවුත්, යමකු මත රැඳී සිටිනවා ඔබ දකින්නේ ද, ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම කරන තැනැත්තා එතුමාණන් යැ’ යි කී සේක. මා දැන් එය දුටු නිසා, මෙතුමාණන් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බවට සාක්ෂි දරමි” යි පැවසී ය.







![[Uniqueness of Christ] Jesus' Unique Reality යොහන් 1:1-34 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F34099%2F1440x810.jpg&w=3840&q=75)


