යොහන් 1:1-12
යොහන් 1:1-12 SCV
මූලාරම්භයේදී වචනයාණෝ සිටි සේක. වචනයාණෝ දෙවියන්වහන්සේ සමඟ සිටි සේක; වචනයාණෝ දෙවියන්වහන්සේ ව සිටි සේක; උන්වහන්සේ මූලාරම්භයේ දෙවියන්වහන්සේ සමඟ වූ සේක. සියල්ල මවන ලද්දේ උන්වහන්සේ මගිනි; මවන ලද කිසිවක් උන්වහන්සේගෙන් තොර ව මවනු නො ලැබුණි. ජීවනය උන්වහන්සේ තුළ විය. ඒ ජීවනය මිනිස් වර්ගයාගේ ආලෝකයයි. ඒ ආලෝකය අන්ධකාරයේ බබළයි; අන්ධකාරය එය යටපත් කළේ නැත. දෙවියන්වහන්සේ විසින් එවන ලද මනුෂ්‍යයෙක් විය; ඔහුගේ නම යොහන් ය. ඔහු පැමිණියේ ඔහු මගින් සියලු මිනිසුන් අදහා ගන්නා පිණිස ඒ ආලෝකය ගැන සාක්ෂි දෙන්නට සාක්ෂිකරුවකු ලෙස ය. ඔහු ඒ ආලෝකය නො වේ; ඔහු පැමිණියේ ඒ ආලෝකයේ සාක්ෂිකරුවකු ලෙස පමණි. හැම මනුෂ්‍යයකුට ම ආලෝකය දෙන සත්‍ය ආලෝකය, ලෝකයට එන්නට තිබුණේ ය. උන්වහන්සේ ලෝකයේ සිටි සේක; ලෝකය මවන ලද්දේ උන්වහන්සේ මගින් වුව ද, ලෝකයා උන්වහන්සේ හැඳින ගත්තේ නැත. උන්වහන්සේ ස්වකීය දෑ වෙත පැමිණි සේක; එහෙත් ස්වකීයයෝ උන්වහන්සේ නො පිළිගත්තෝ ය. එසේ වුවත්, උන්වහන්සේ පිළිගත් සියල්ලනට, උන්වහන්සේගේ නාමය තුළ අදහාගත් අයට දෙවියන්වහන්සේගේ දරුවන් වීමට උන්වහන්සේ වර දුන් සේක.







![[Uniqueness of Christ] Jesus' Unique Reality යොහන් 1:1-12 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F34099%2F1440x810.jpg&w=3840&q=75)


