YouVersion Logo
Search Icon

යෙරමියා 49

49
අම්මොන්ට එරෙහිව
1අම්මොන්වරුන් පිළිබඳව:
ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“ඉශ්‍රායෙල්ට පුතුන් නැති ද?
ඔහුට උරුමකරුවකු නැති ද?
සිටී නම්, මිල්කොම් දෙවියා#49:1 මිල්කොම් දෙවියා හෙවත් ඔවුන්ගේ රජ 3 වෙනි පදය ද එසේ ම ය., ගාද් පෙදෙස අත්කර ගෙන ඇත්තේ මන්ද?
ඔහුගේ ජනයා එහි නගරවල වෙසෙන්නේ මන්ද?
2එබැවින් මෙන්න!
අම්මොන්වරුන්ගේ රබ්බා පුරයට එරෙහිව,
මා විසින් යුද ඝෝෂාව ඇසෙන්නට සලසන දවස් පැමිණේ යැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“එය සුන්බුන් ගොඩක් බවට පත් වේ.
ඒ වටා ඇති ගම්මාන ද ගින්නෙන් දැවේ.
එකල ඉශ්‍රායෙල්, තමන් පිට මං කළවුන්,
පිට මං කරනු ඇතැ” යි ස්වාමින්වහන්සේ පවසන සේක.
3“විලාප නගනු එම්බා හෙෂ්බෝන්,
මන්ද, ආයි නගරය විනාශ වී ඇත.
එම්බා රබ්බාහි දූවරුනි, හඬා වැටෙනු!
ගෝණි රෙදි හැඳ, වැලපෙමින්, බඩවැටි පුරා ඔබ මොබ දුවනු!
මන්ද මිල්කොම් දෙවියා තම පූජකයින් හා නිලධාරීන් ද සමඟ
වහල්කමට යනු ඇත.
4ඔබගේ තැනිතලා ගැන
ඔබගේ සාරවත් තැනිතලා ගැන ඔබ පුරසාරම් දොඩන්නේ ඇයි?
එම්බා අවිශ්වාසවන්ත දියණිය,
තම සම්පත් ගැන විශ්වාසය තබා,
‘කවුරු ද මට පහර දෙන්නට එන්නේ?’ යි නුඹ අසන්නෙහි ය.
5ඔන්න, නුඹ වටා සිටින සියල්ලන් වෙතින්
මම නුඹ පිටට භීතිය ගෙනෙන්නෙමි” යි
සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“නුඹලා හැම කෙනෙක් ම පලවා හරිනු ලබති.
කිසිවකුවත් පලා යන්නන් එකට එකතු කරන්නේ නැත.
6“එහෙත් ඉන්පසුව මම අම්මොන්වරුන්ගේ භාග්‍යය යළි ස්ථාපිත කරමි” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
ඒදොම්ට එරෙහිව
7ඒදොම් පිළිබඳව:
සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“තේමාන්හි තවදුරටත් ප්‍රඥාව නැති ද?
නැණවතුන් වෙතින් දැනමුතුකම පහව ගොසින් ද?
ඔවුන්ගේ ප්‍රඥාව ක්ෂය වී ගොසින් ද?
8දෙදාන්හි වාසය කරන්නෙනි,
ආපසු හැරී, පලා ගොස්, ගැඹුරු ගුහාවල සැඟවෙනු.
ඒසව්ට මා දඬුවම් කරන කාලයට ම,
මම ඔහු පිට විපත්තිය පමුණු වන්නෙමි.
9මිදි පල නෙළන්නෝ ඔබ වෙත ආවොත්,
ඔවුහු මිදි ස්වල්පයක් හෝ ඉතිරි නො කරත් ද?
රැයේදී සොරුන් ආවොත්,
ඔවුන් සොරා ගන්නේ තමනට අවැසි තරම් පමණක් නො වේ ද?
10එහෙත් මම ඒසව්ගේ වස්ත්‍ර ගලවා, නග්න කරන්නෙමි.
ඔහුට සැඟවී සිටින්නට බැරි වන සේ,
ඔහුගේ රහස් තැන් එළි කරන්නෙමි.
ඔහුගේ දරුවන් ද ඔහුගේ නෑයින් ද
ඔහුගේ අසල්වාසීන් ද විනාශ වේ.
මෙසේ කියන්නට කිසිවෙක් ඉතිරි නො වනු ඇත:
11‘ඔබේ අනාථ දරුවන් හැර යන්න. මම ඔවුන්ගේ දිවි සුරකින්නෙමි.
ඔබේ වැන්දඹුවනට ද මා තුළ විශ්වාසය තැබිය හැකි ය.’ ”
12 ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “මේ කුසලානෙන් බීමට නියම නො වූ අය ද එය පානය කළ යුතු වේ නම්, ඔබ දඬුවම් නො ලැබිය යුත්තේ මන්ද? ඔබ දඬුවම් නො ලබා සිටින්නේ නැත. ඔබ එය පානය කළ යුතු ම ය. 13බොස්රා නුවර ජරාවාසයක් ද භීතියට, අවලාදයට හා ශාපයට ඉලක්කයක් ද ඇගේ සියලු පුරවර සදාකාල නටඹුන් ද වනු ඇතැයි මා ගැන ම මම දිවුරා කියමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
14 ස්වාමින්වහන්සේ වෙතින් පණිවුඩයක් මට අසන්නට ලැබිණ,
“ඊට පහර දීමට එක් රොක් වන්න!
සටනට නැගී සිටින්නැ!” යි දන්වමින්,
ජාතීන් වෙත දූතයකු යවන ලද වගයි ඒ.
15“මෙන්න, මම ජාතීන් අතරේ ඔබ කුඩා කරන්නෙමි.
මිනිසුන් අතරේ අවමානයට ලක් වන්නට සලස්වමි.
16නුඹ පෙලඹ වූ භීතියත්,
නුඹේ හදේ උඩඟුකමත් නුඹ මුළාකොට ඇත.
පර්වත විවරවල වෙසෙන්නාණෙනි,
හෙල් මුඳුන් අල්ලාගෙන සිටින්නාණෙනි,
නුඹගේ කූඩුව, රාජාලියකුගේ මෙන් ඒ සා ඉහළින් සෑදුවත්,
එතැනින් මම නුඹ පහළට ගෙනෙන්නෙමි” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
17“ඒදොම් සංත්‍රාසයට හේතුවක් වනු ඇත.
එය පසු කර යන අය,
ඊට සිදු වී ඇති සියලු තුවාල දැක, විස්මපත් වී, ඊට කවටකම් කරනු ඇත.
18එය, සොදොම හා ගොමොරාව ද
ඊට යාබද නගර සමඟින් හෙළා දමනු ලැබූ පරිදි වෙයි;
එබැවින් කිසිවකු මෙහි වාසය කරනු නැත.
කිසි මිනිසකු එහි පදිංචි වන්නේ ද නැතැ” යි
ස්වාමින්වහන්සේ පවසන සේක.
19අන්න! යොර්දාන් වන ලැහැබින් නික්ම,
සරු තණ බිමකට පැමිණෙන සිංහයකු සේ,
මම එක් ඇසිල්ලකින් තම දේශයෙන් ඔහු#49:19 ඔහු එනම් ඒදොම් පලා යන්නට සලස්වන්නෙමි.
මේ සඳහා ම, මා විසින් පත් කෙරෙන තෝරා ගන්නා ලද්දා කවරෙක් ද?
මා හා සමාන කවුරු ද? මට අභියෝග කළ හැක්කේ කවරකුට ද?
මට එරෙහිව නැගිට සිටිය හැකි එඬේරා කවරෙක් ද?
20එබැවින් ඒදොම්ට එරෙහිව ස්වාමින්වහන්සේ සැලසුම් කළ දෑ කවරේ ද යන්නත්,
තේමාන්හි වෙසෙන්නන්ට එරෙහිව උන්වහන්සේ අභිප්‍රාය කර ඇති දෑ කවරේ ද යන්නත් අසා ගන්න:
රංචුවේ පැටවුන් ඉවත ඇදගෙන යනු ලැබේ.
ඔවුන් නිසා, ඔහු ඔවුන්ගේ තණ බිම් සහමුලින් ම වනසා දමයි.
21ඔවුන් ඇද වැටෙන ශබ්දයට පොළොව සලිත වේ.
ඔවුන්ගේ කෑ මොර දීමේ නාදය, රතු මුහුද දක්වා දෝංකාර දෙයි.
22මෙන්න, බොස්රාට එරෙහිව තම පියාපත් විහිදවමින්,
රාජාලියකු, අසුරු සැණෙක පහත බැස එයි.
ඒ දවසේ ඒදොම් රණවිරුවන්ගේ හදවත්,
ප්‍රසව වේදනා විඳින්නියකගේ හදවත මෙන් වනු ඇත.
දමස්කයට එරෙහිව
23දමස්කය පිළිබඳව:
“හමාත් හා අර්පාද් කලඹනු ලැබ ඇත.
ඔවුන් නරක ආරංචියක් අසා ඇත.
චංචල මුහුද සේ ඔවුහු කරදරයට පත් ව,
සිත් චංචල ව සිටිති.
24දමස්කය බෙලහීන වී ඇත.
ඈ පලා යන්නට හැරුණා ය.
සන්ත්‍රාසයේ ග්‍රහණයට ඇය හසු විය.
සංවේගය ද ප්‍රසව වේදනා විඳින්නියකගේ බඳු
වේදනාව ද ඇය අල්ලාගෙන ඇත.
25මා ප්‍රීතිමත් වූ නගරය, ඒ කීර්තිමත් පුරවරය,
අත්හැර දමනු නො ලැබුවේ කෙසේ ද?
26සැබවින් ම ඇගේ තරුණයින් වීදිවල වැටී යනු ඇත.
ඇගේ සියලු සෙබළු ද ඒ දවසේ වනසා දමනු ලබති” යි
සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
27දමස්කයේ පුර පවුරු මම ගිනි අවුළු වන්නෙමි.
බෙන්-හදද්ගේ බළකොටු එයින් දවා දැමේ.
කේදාර් හා හාසොර්ට එරෙහිව
28බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් විසින් පහර දෙන ලද කේදාර් සහ හාසොර් රාජධානි පිළිබඳව:
ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“නැගී සිටිනු! කේදාර්ට පහර දෙනු!
නැගෙනහිර ජනයා විනාශ කර දමනු!
29ඔවුන්ගේ කූඩාරම් හා ඔවුන්ගේ එළු බැටළු රංචු අල්ලාගෙන යනු ලැබේ.
ඔවුන්ගේ කූඩාරම් තිර ද ඔවුන්ගේ සියලු බඩු
භාණ්ඩ හා ඔවුන්ගේ ඔටුවන් ද ගෙන යනු ලැබේ.
‘හැම පැත්තේ ම භීතිය’ යැයි
ඔවුනට කෑ මොර දෙන හඬක් නැගෙයි.
30“පලා යනු! ඉවත පැන දුවනු.
හාසොර්හි ජීවත්වන්නනි,
ගැඹුරු ගුහාවල නවතිනු” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“මන්ද බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් ඔබට එරෙහිව සැලසුමක් කර ඇත.
ඔබට එරෙහිව ප්‍රයෝගයක් යොදා ඇත.
31“සුරැකි ව දිවි ගෙවන, සුව-පහසුව සිටින
ජාතියකට එරෙහිව නැගිට, පහර දෙන්නැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“දොරටු හෝ දොරගුළු නැති ජාතියක් වන
ඔවුහු ජීවත් වන්නේ හුදකලාව ය.
32ඔවුන්ගේ ඔටුවන් පැහැර ගනු ලැබේ.
ඔවුන්ගේ විශාල ගව රංචු කොල්ලකනු ලැබේ.
තමන්ගේ හිස කෙස් අග කපාගන්නන්
මම හැම දෙසට ම විසුරුවන්නෙමි.
හැම පැත්තෙන් ම මම ඔවුන් පිටට ආපදා ගෙනෙන්නෙමි” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
33“හාසොර් සිවලුන්ගේ තිප්පොළක් වනු ඇත.
සදාතනික ජනශූන්‍ය පාළු බිමක් වනු ඇත.
කිසිවකුත් එහි වෙසෙන්නේ නැත.
කිසි මිනිසෙක් එහි පදිංචි වන්නේ නැත.”
ඒලාම්ට එරෙහිව
34යූදාහි රජු වූ සෙදෙකියාගේ රාජ සමය මුලදී, ඒලාම් දේශය පිළිබඳව දිවැසිවර යෙරමියා වෙත පැමිණි ස්වාමින්වහන්සේගේ වචනය මෙසේ වෙයි:
35සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“මෙන්න, ඔවුන්ගේ ප්‍රබලත්වයේ මූල සාධකය වූ
ඒලාම්ගේ දුන්න, මම කඩා දමන්නෙමි.
36ඒලාම්ට එරෙහිව මම අහසේ සතර දිග් භාගයෙන්
සතර සුළං ගෙනෙන්නෙමි.
මම සතර දිසාවට ම ඔවුන් විසුරුවා දමන්නෙමි.
ඒලාම් පිටුවහලුන් නො යන තැනක්
ජාතීන් අතරෙහි නො වන්නේ ය.
37ඔවුන්ගේ සතුරන් ඉදිරිපිට,
ඔවුන්ගේ දිවි තොර කරන්නට සොයන්නන් ඉදිරිපිට
මම ඒලාම් සිඳ බිඳලන්නෙමි.
මම ඔවුන් පිට විපත්තිය,
මගේ රුදුරු කෝපය, පමුණු වන්නෙමි” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“මා ඔවුන් කෙළවරක් කර දමන තුරු,
අසිපතෙකින් ඔවුන් ලුහුබඳින්නෙමි.
38මම ඒලාම්හි මගේ සිහසුන පිහිටුවා,
එහි රජුත්, නිලධාරිනුත් විනාශ කර දමන්නෙමි” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
39“එසේ වුවත්, මතු දවස්හි දී
මම ඒලාම්හි භාග්‍ය යළි පිහිටු වන්නෙමි” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for යෙරමියා 49