විනිසුරුවෝ 7:17-22
විනිසුරුවෝ 7:17-22 SCV
ඔහු ඔවුන් අමතමින්, “මා දිහා බලාගෙන, මා අනුගමන කරනු! කඳවුර අද්දරට මා ගිය පසු, මා කරන දේ ම කරනු! මාත් මා සමඟ සිටින සියලු දෙනාත් හොරණෑ පිඹින කල, ඔබත් මුළු කඳවුර වටා ඔබේ හොරණෑ පිඹ, ‘ස්වාමින්වහන්සේ හා ගිඩියොන් උදෙසා ය’ කියා මොර හඬ නගනු” යි කීවේ ය. ගිඩියොන් හා ඔහු සමඟ සිටි මිනිසුන් සිය දෙනා මුර මාරු වූ විගස මැදියම් යාමය පටන් ගැන්මේදී, කඳවුර අද්දරට ළඟා වූවෝ, හොරණෑ පිඹ, තමන් අත වූ කළ ගෙඩි බින්දෝ ය. මෙසේ කණ්ඩායම් තුන ම වමතින් පන්දම් ගෙන, පිඹින පිණිස හොරණෑ දකුණතින් ගෙන, හොරණෑ හඬවා, කළ ගෙඩි බින්දෝ, “ස්වාමින්වහන්සේට හා ගිඩියොන්ට අසිපතෙකි” යි මොර හඬ නැගුවෝ ය. ඔවුන් එක් එක්කෙනා කඳවුර වටා තමන් සිටිය තැන ස්ථානගත ව සිටියදී, මිදියන්වරු සැවොම මර හඬ දෙමින්, පැන දිවූහ. තවද හොරණෑ තුන්සියය හැඬ වූ කල, ස්වාමින්වහන්සේ කඳවුර මුළුල්ලෙහි එකිනෙකා අසිපත් දරා, එකිනෙකාට එරෙහිව නැගෙන්නට සැලසූ සේක. සේනාව ටබ්බාත් අසල ආබෙල්-මෙහෝලා සීමාව දක්වා සෙරේරා දෙසට බෙත්-ෂිට්ටා වෙත පලා ගියහ.





