විනිසුරුවෝ 19
19
ලෙවීයයා සහ අතිරේක බිරිඳ
1එදවස්හි ඉශ්‍රායෙල්හි රජකු නො සිටියේ ය.
එප්‍රායිම් කඳු රටේ දුරස්ථ පෙදෙසේ විසූ ලෙවීයයෙක්, යූදාහි බෙත්ලෙහෙමෙන් අතිරේක බිරිඳක ගත්තේ ය. 2එහෙත් ඈ, ඔහුට අවිශ්වාසී වූවා ය. ඈ, ඔහු අතැර, යූදාහි බෙත්ලෙහෙමේ තම පියාගේ නිවසට ආපසු ගියා ය. හාර මසක් ඇය එහි සිටි පසු, 3ඇගේ සැමියා මුදු බස් දොඩා, ඇය ආපසු කැඳවාගෙන, ගෙන එනු පිණිස, ඇය වෙත ගියේ ය. ඔහුගේ මෙහෙකරු ද බූරුවන් දෙදෙනෙක් ද ඔහු සමඟ විය. ඈ, තම පියාගේ නිවස තුළට ඔහු කැඳවා ගියා ය. තරුණියගේ පියා ඔහු දුටු කල, ප්‍රීතියෙන් ඔහු පිළිගත්තේ ය. 4ඔහුගේ මාමණ්ඩිය වූ ඇගේ පියා එහි ඔහුට නවතින්නට සැලසී ය. එබැවින්, තුන් දවසක් ඔහු සමඟ නැවතී සිට ඔවුහු කෑවෝ ය. බීවෝ ය. රැය ද එහි ගත කළෝ ය.
5හතර වන දවසේ අරුණ උදයෙන් ඔවුහු පිබිදුණහ. ඔහු පිටත් ව යන්නට සූදානම් වූ නමුදු තරුණියගේ පියා තම බෑණනුවන්ට කතා කොට, “යමක් අහරට ගෙන, සිත ප්‍රාණවත් කර ගන්න. පසුව ඔබට යා හැකි යැ” යි කීවේ ය. 6මෙසේ ඔවුන් දෙදෙනා එක් ව හිඳ, කෑවෝ ය. බීවෝ ය. ඉන්පසු තරුණියගේ පියා, ඒ මිනිසාට කතා කොට, “අද රැයත් නැවතී සතුටු වන්නැ” යි ඉල්ලී ය. 7ඒ මිනිසා යෑමට නැගිටි කල, ඔහුගේ මාමණ්ඩිය නවතින ලෙසට ඔහු පොලඹවා ගත්තේ ය. එබැවින් ඔහු ඒ රැය ද එහි ගත කළේ ය. 8පස් වන දවසේ අරුණ උදයෙන් ඔහු යෑමට පිබිදුණු කල, තරුණියගේ පියා කතා කරමින්, “ගත, සිත ප්‍රාණවත් කර ගන්න; දහවල ගෙවෙන තුරු නවතින්නැ” යි කීවේ ය. එබැවින් ඔවුහු දෙදෙනා එක් ව කෑවෝ ය. බීවෝ ය.
9ඉන්පසු ඒ මිනිසා ඔහුගේ අතිරේක බිරිඳ හා සේවකයා සමඟ පිටත් ව යෑමට නැගිට්ටේ ය. එවිට ඔහුගේ මාමණ්ඩිය වූ තරුණියගේ පියා ඔහුට කතා කොට, “මේ බලන්න, දැන් දවස ගෙවී ගොසින්. හොඳට ම හවස් වෙලා. රැය මෙහි ගත කරන්න. ඔන්න! දවස නිමවෙන්නත් ළඟයි. රාත්‍රිය මෙහි ගත කොට, සතුටු වන්න. ගමනට හෙට උදේ පාන්දරින් නැගිට, ඔබට ගෙදර යා හැකි යැ” යි කීවේ ය. 10එහෙත්, රැය නවතින්නට අකමැති වූ ඒ මිනිසා නැගිට, පිටත් ව, යෙබූස් හෙවත් යෙරුසලමේ අනෙක් පැත්තට පැමිණියේ ය. සැඳෑල සහිත බූරුවන් යුගල හා ඔහුගේ අතිරේක බිරිඳ ද ඔහු සමඟ විය.
11ඔවුන් යෙබූස් වෙත ළඟා වෙද්දී, දවස බොහෝ සෙයින් ගෙවී ගොස් තිබිණ. එවිට තම හාම්පුතා ඇමතූ සේවකයා, “එමු; යෙබූසිවරුන්ගේ මේ පුරවරය වෙත හැරී රැය එහි ගත කරමු” යි කීවේ ය.
12එහෙත්, ඔහුගේ හාම්පුතා පිළිතුරු දෙමින්, “නැහැ. ඉශ්‍රායෙල් පුත්‍රයින් නො වන ජනතාවකට අයත් පිට දේසක්කාර නගරයකට අප ඇතුල්වන්නේ නෑ. අපි ගිබෙයා දක්වා ම යමු” යි කීවේ ය. 13ඔහු තවදුරටත් ඒ තරුණ සේවකයා අමතමින්, “එමු, අපි මේ තැන්වලින් එකකට යන්නට උත්සාහ කරමු. ගිබෙයාහි නැති නම් රාමාහි රෑ ගත කරමු” යි කීවේ ය. 14මෙසේ ඔවුහු එතැන් පසු කරමින් තම ගමනේ යෙදුණහ. ඔවුන් බෙන්යමින්ට අයත් ගිබෙයා පෙදෙසට ළඟා වන කල, හිරු බැස ගියේ ය. 15ඔවුහු ගිබෙයාහි රැය ගත කරන පිණිස එපුර දෙසට හැරී ගියහ. ඔවුහු එහි ගොස්, නගර පිටියෙහි වාඩි ගත්හ. එහෙත් රැය ගත කිරීමට කිසිවකු තම ගෙවලට ඔවුන් වැද්ද ගත්තේ නැත.
16ඒ සැන්දෑවේ, මෙන්න! එක් මහලු මිනිසෙක් තම වැඩ නිම වී, කුඹුරේ සිට එමින් සිටියේ ය. ඔහු ගිබෙයාහි වාසය කළා වුව ද, එප්‍රායිම් කඳු රටේ කෙනෙකි. මෙම පෙදෙසේ මිනිස්සු බෙන්යමින් වංශිකයෝ ය. 17ඔහු විපරමින් බැලූ කල, නගර එළිමහන් පිටියේ සිටි මගියා දුටුවේ ය. මහලු මිනිසා ඔහු අමතමින්, “ඔබ යන්නේ කොහේ ද? එන්නේ කොහේ සිට දැ?” යි ඇසී ය.
18ඔහු ඔහුට පිළිතුරු දෙමින්, “අප යූදාහි බෙත්ලෙහෙමේ සිට, එප්‍රායිම් කඳුකරයේ දුරස්ථ පෙදෙසට යනවා. මා වාසය කරන්නේ එහියි. මා යූදාහි බෙත්ලෙහෙමට ගියා. දැන් මා ස්වාමින්වහන්සේගේ ගෘහය වෙත යනවා. කිසිවකුත් තම නිවසට මා වැද්ද ගත්තේ නැහැ. 19අපේ බූරුවන්ට පිදුරු හා සත්ව ආහාර ද ඔබේ මෙහෙකරුවන් වන මටත්, මෙම මෙහෙකාරියටත් අප සමඟ සිටින මේ තරුණයාටත් අවැසි රොටි හා මිදි යුෂ අප ළඟ තියෙනවා. අපට අඩුපාඩුවක් නැතැ” යි කීවේ ය.
20එවිට මහලු මිනිසා කතා කරමින්, “ඔබට සාමය වේවා. ඔබගේ අවැසිතා සියල්ල මම බලා ගන්නම්. මේ එළිමහන් පිටියේ විතරක් සිටින්න එපා” යි පැවසී ය. 21මෙසේ ඔහු තම නිවසට ඔවුන් කැඳවාගෙන අවුත්, බූරුවන්ට අහර ද සැපයී ය. තම පා සෝදා ගත් ඔවුහු කෑවෝ ය. බීවෝ ය.
22මෙසේ ඔවුන් සොම්නස් වන අතරේ, නගරයේ කමකට නැති ඇතමෙක් ඒ නිවස වට කළහ. ඔවුහු දොරට තඩි බාමින්, ගෙදර ස්වාමියා වූ මහලු මිනිසාට කෑ ගසමින්, “නුඹේ ගෙදරට පැමිණි මිනිසා සමඟ රති කෙළියෙහි යෙදෙන පිණිස, ඔහු පිටතට ගෙනෙන්!” යි මොර දුන්හ.
23එවිට ගෙදර ස්වාමියා වූ ඒ මිනිසා ඔවුන් වෙත පිටතට ගොස්, ඔවුන්ට කතා කොට, “නැහැ මගේ මිතුරනි, එබඳු දුෂ්ටකමක් කරන්න එපා. මේ මිනිසා මගේ ආගන්තුකයා නිසා, ඒ නීච වැඩේ නො කරල්ලා. 24අන්න මගේ කන්‍යා දියණියත්, ඔහුගේ අතිරේක බිරිඳත් ඉන්නවා. මම ඔවුන් නුඹලා වෙත පිටතට ගෙනෙන්නම්. ඔවුන් ගෙන ගොස්, ඔවුන් දූෂ්‍ය කොට නුඹලා කැමැත්තක් කරපල්ලා. එහෙත් මේ මිනිසාට එරෙහිව එවැනි නීචකමක් නො කරල්ලා” යි කීවේ ය.
25එහෙත්, ඒ මිනිස්සු ඔහුට සවන් නුදුන්හ. එබැවින් ඒ මිනිසා තම අතිරේක බිරිඳ අල්ලා ඔවුන් වෙත පිටතට දැමී ය. ඔවුහු අමානුෂික ලෙස ඇය දූෂණය කොට, පහන් වන තුරු රැය පුරා ම ඇයට අතවර කළහ. අරුණ උදාවත් සමඟ ඔවුහු ඇයට යන්නට හැරියහ. 26දවස උදා වෙද්දී ඒ කාන්තාව, තම හිමියා සිටි නිවස වෙත ආපසු අවුත්, එළිය වැටෙන තෙක් දොර ළඟ වැටී සිටියා ය.
27ඇගේ ස්වාමියා උදෑසන නැගිට, නිවසේ දොරවල් ඇර, තම ගමන යන්නට පිටතට වන්නේ ය. එවිට මෙන්න! ඔහුගේ අතිරේක බිරිඳ ගෙයි දොරකඩ වැටී, ඇගේ දෑත එළිපත්ත මත තබාගෙන! 28“නැගිටින්න, අපි යමු” යි ඔහු ඇයට කී ය. එහෙත් පිළිතුරක් ලැබුණේ නැත. එවිට ඒ මිනිසා තම බූරුවා පිට ඇය තබා, තම ගෙදර යන්නට පිටත් විය.
29ගෙදර පැමිණි පසු, ඔහු පිහියක් ගෙන, තම අතිරේක බිරිඳ අල්ලා, අවයවයෙන් අවයවයට කොටස් දොළසකට කපා, ඉශ්‍රායෙල්හි සියලු පළාත්වලට ඒවා යැවී ය. 30දුටු සැවොම, “ඉශ්‍රායෙල් පුත්‍රයින් ඊජිප්තු දේශයෙන් පිටතට පැමිණි දවසේ සිට මේ දක්වා කිසි දිනෙක මෙවැන්නක් දැක නැත; සිදුව නැත. ඒ ගැන සිතා බලන්න. කල්පනාවට ගන්න. කරන්නේ කුමක් දැයි කියන්නැ” යි කීහ.
Currently Selected:
විනිසුරුවෝ 19: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.