යාකොබ් 2
2
පක්ෂවාදිකම් තහනම්
1මා සහෝදරයිනි, තේජසේ ස්වාමින්වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළ අදහන්නන් වශයෙන් උස් පහත්කම් නො සලකන්න. 2රන් මුදු පැලඳි, වටිනා ඇඳුම් හැඳි ධනවතෙක් ද වැරහැලි හැඳි දුගියෙක් ද ඔබේ එක්රැස්වීමකට පැමිණි විටෙක, 3ඔබ අර වටිනා ඇඳුම් හැඳි කෙනා අමතමින්, “එන්න, මේ හොඳ පහසු තැනකින් වාඩි වන්නැ” යි කියා, දුගී මිනිසා වෙත හැරී, “ඔන්න ඔහෙන් ඉන්නවා” ය කියා හෝ, “මේ මගේ පා අසලින් ඉඳගන්නවා” කියා කියන්නේ නම්, 4ඔබ, ඔබ අතරේ ම වෙනස්කම් සලසන, දුෂ්ට සිතුවිලි ඇති විනිශ්චයකරුවන් නො වන්නේ ද?
5මේ අහන්න, මා ප්‍රේමණීය සහෝදරයිනි, ඇදහිල්ලේ ධනවත් වන පිණිසත්, තමන්වහන්සේට ප්‍රේම කරන්නවුන්ට දෙවියන්වහන්සේ පොරොන්දු වූ රාජ්‍යයේ උරුමකරුවන් වන පිණිසත්, මේ ලෝකයේ දුගීන් උන්වහන්සේ තෝරා නො ගත් සේක් ද? 6එහෙත් ඔබ, දිළිඳාට අවමන් කර ඇත. ඔබට පීඩා පමුණුවන්නේත්, උසාවි කරා ඔබ ඇදගෙන යන්නෙත් ධනවතුන් ම නො වේ ද? 7ඔබ දරන ගෞරවණීය නාමයට අපහාස කරන්නේත් ඔවුන් ම නො වේ ද?
8ශුද්ධ ලියවිල්ලට අනුව, “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න”#2:8 ලෙවී 19;18 යන රාජකීය නීතිය පිළිපදින්නේ නම්, ඔබ කරන්නේ හරි දෙයයි. 9එහෙත් ඔබ තරාතිරම් බලන්නේ නම්, ඔබ පව් කරයි. නොපනත්කමේ වරදට, ව්‍යවස්ථාවෙන් වරදකරුවන් කරනු ලබයි. 10මන්ද මුළු ව්‍යවස්ථාව ම පිළිපැද, ඉන් එක් කොටසක් කඩ වුවහොත් මුළු ව්‍යවස්ථාව ගැන ම වරදකරුවකු වෙයි. 11“පරදාර සේවනය නො කරනු”#2:11 නික්ම 20;14; ද්වි 5;18 යි කී තැනැන්වහන්සේ, “මිනී නො මරනු”#2:11 නික්ම 20;13; ද්වි 5;17 කියා ද කී සේක. එබැවින් ඔබ පරදාර සේවනයේ යෙදුණේ නැති වුව ද, මිනී මරන්නේ නම්, නීතිය පිළිබඳ වරදකරුවකු වෙයි.
12එබැවින් නිදහස් නීතියකින් විනිශ්චයට නියම වූවන් සේ කතා කරන්න; ක්‍රියා කරන්න. 13මන්ද දයාව නො පෑ තැනැත්තාට විනිශ්චය පැමිණෙන්නේ ද දයා විරහිත ව ය. දයාව විනිශ්චය අභිබවා ජය ගනී.
ඇදහිල්ල හා ක්‍රියා
14මා සහෝදරයිනි, කෙනෙක් තමන්ට ඇදහිල්ල ඇතැයි කියන නමුත් ක්‍රියා නැති නම්, එවැනි ඇදහිල්ලකට ඔහු ගැලවිය හැකි ද? 15හරි හැටි ඇඳුමක් නැති, එදිනෙදා කුසට අහර නැති සහෝදරයකුට හෝ සහෝදරියකට 16ඔවුන්ගේ එම ශාරීරික අවශ්‍යතා සපුරන්නේ නැතිව, ඔබගෙන් කෙනකු කතා කොට, “සාමයෙන් යන්න; ගොස් උණුසුම් වී, බඩ පුරා කන්නැ” යි කියයි නම්, ඉන් වන සෙත කුමක් ද? 17ඒ අයුරින් ක්‍රියාවලින් තොර, තනි වූ ඇදහිල්ල මළ එකකි.
18එහෙත් කෙනෙක් කතා කොට, “ඔබට ඇදහිල්ල තිබේ; මට ක්‍රියා තිබේ” යි කියයි.
ඔබේ ක්‍රියාවලින් තොර ව ඔබේ ඇදහිල්ල මට පෙන්වන්න. මම මගේ ක්‍රියාවලින් මගේ ඇදහිල්ල පෙන්වන්නම්. 19දෙවියන්වහන්සේ එක් කෙනකු පමණක් බව ඔබ විශ්වාස කරයි. අගෙයි! යක්ෂාත්මයෝ පවා විශ්වාස කර වෙවුලති.
20අඥානය, ක්‍රියාවලින් තොර ඇදහිල්ල වැඩකට නැති වගට සාධක වුවමනා ද? 21අපගේ පිය වූ ආබ්‍රහම් ක්‍රියා තුළින් ධර්මිෂ්ඨ බවට පිළිගැනුනේ, ඔහු තම පුත් ඊසාක් පූජාසනය මත පූජා කළ කල්හි නො වේ ද? 22ඔහුගේ ක්‍රියා සමඟ ඇදහිල්ල ක්‍රියාත්මක වූ වග හා ඔහුගේ ක්‍රියා තුළින් ඇදහිල්ල සම්පූර්ණ වූ වග ඔබට පෙනේ. 23“ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාස කළේ ය; එය ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබිණැ”#2:23 උත් 15;6 යි පැවසෙන ශුද්ධ ලියවිල්ල එමඟින් සම්පූර්ණ වෙයි. තවද ඔහු දෙවියන්වහන්සේගේ මිත්‍රයා ලෙසින් හඳුන්වනු ලැබී ය. 24යමකු දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ කරන්නේ ක්‍රියා මගින් වගත්, ඇදහිල්ලෙන් පමණක් නො වන වගත් ඔබට පෙනේ.
25එලෙස ම රාහාබ් වෙසඟන ඔත්තුකරුවන් පිළිගෙන, වෙනත් මඟකින් ඔවුන් පිටත් කර යැවූ කල, ඇය ද ධර්මිෂ්ඨ කරනු ලැබුවේ, ක්‍රියා මගින් නො වේ ද? 26ආත්මයෙන් තොර සිරුර මළ එකක් සේ ම, ක්‍රියා නැති ඇදහිල්ල ද මළ එකකි.
Currently Selected:
යාකොබ් 2: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.