YouVersion Logo
Search Icon

යාකොබ් 2:14-26

යාකොබ් 2:14-26 SCV

මා සහෝදරයිනි, කෙනෙක් තමන්ට ඇදහිල්ල ඇතැයි කියන නමුත් ක්‍රියා නැති නම්, එවැනි ඇදහිල්ලකට ඔහු ගැලවිය හැකි ද? හරි හැටි ඇඳුමක් නැති, එදිනෙදා කුසට අහර නැති සහෝදරයකුට හෝ සහෝදරියකට ඔවුන්ගේ එම ශාරීරික අවශ්‍යතා සපුරන්නේ නැතිව, ඔබගෙන් කෙනකු කතා කොට, “සාමයෙන් යන්න; ගොස් උණුසුම් වී, බඩ පුරා කන්නැ” යි කියයි නම්, ඉන් වන සෙත කුමක් ද? ඒ අයුරින් ක්‍රියාවලින් තොර, තනි වූ ඇදහිල්ල මළ එකකි. එහෙත් කෙනෙක් කතා කොට, “ඔබට ඇදහිල්ල තිබේ; මට ක්‍රියා තිබේ” යි කියයි. ඔබේ ක්‍රියාවලින් තොර ව ඔබේ ඇදහිල්ල මට පෙන්වන්න. මම මගේ ක්‍රියාවලින් මගේ ඇදහිල්ල පෙන්වන්නම්. දෙවියන්වහන්සේ එක් කෙනකු පමණක් බව ඔබ විශ්වාස කරයි. අගෙයි! යක්ෂාත්මයෝ පවා විශ්වාස කර වෙවුලති. අඥානය, ක්‍රියාවලින් තොර ඇදහිල්ල වැඩකට නැති වගට සාධක වුවමනා ද? අපගේ පිය වූ ආබ්‍රහම් ක්‍රියා තුළින් ධර්මිෂ්ඨ බවට පිළිගැනුනේ, ඔහු තම පුත් ඊසාක් පූජාසනය මත පූජා කළ කල්හි නො වේ ද? ඔහුගේ ක්‍රියා සමඟ ඇදහිල්ල ක්‍රියාත්මක වූ වග හා ඔහුගේ ක්‍රියා තුළින් ඇදහිල්ල සම්පූර්ණ වූ වග ඔබට පෙනේ. “ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාස කළේ ය; එය ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබිණැ” යි පැවසෙන ශුද්ධ ලියවිල්ල එමඟින් සම්පූර්ණ වෙයි. තවද ඔහු දෙවියන්වහන්සේගේ මිත්‍රයා ලෙසින් හඳුන්වනු ලැබී ය. යමකු දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ කරන්නේ ක්‍රියා මගින් වගත්, ඇදහිල්ලෙන් පමණක් නො වන වගත් ඔබට පෙනේ. එලෙස ම රාහාබ් වෙසඟන ඔත්තුකරුවන් පිළිගෙන, වෙනත් මඟකින් ඔවුන් පිටත් කර යැවූ කල, ඇය ද ධර්මිෂ්ඨ කරනු ලැබුවේ, ක්‍රියා මගින් නො වේ ද? ආත්මයෙන් තොර සිරුර මළ එකක් සේ ම, ක්‍රියා නැති ඇදහිල්ල ද මළ එකකි.