YouVersion Logo
Search Icon

යෙසායා 47

47
බබිලෝනියේ වැටීම
1“පහතට බැස, දූලියෙහි හිඳගන්න,
එම්බා බබිලෝනි කන්‍යා දියණියනි;
සිහසුනක් නැතිව බිම හිඳගන්න,
එම්බා කල්දිවර දියණියනි.
මින් මතු, සිවුමැලි ය,
කෝමල යයි ඔබ ගැන කියනු නැත.
2ඇඹරුම් ගල් ගෙන, පිටි අඹරන්න.
ඔබගේ මුහුණු වැස්ම ඉවතලන්න.
ඔබගේ සාය ඔසවා, කකුල් නිරාවරණ කොට,
වතුරට බැස, ගංගා මැදින් යන්න.
3නුඹේ නග්න භාවය නිරාවරණ කෙරේ.
නුඹේ විලි ලජ්ජා නැතිකම පෙන්නුම් කෙරේ.
මම පළිය ගන්නෙමි.
එකෙකුදු ඉතිරි නො කරන්නෙමි.”
4අපගේ මිදුම්කරුවාණෝ, සේනාංකවල ස්වාමින්වහන්සේ
යන නාමය දරන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ය.
5“නිහඬ ව හිඳ, අන්ධකාරය තුළට යන්න,
එම්බා කල්දිවරුන්ගේ දියණිය.
මන්ද රාජධානිවල රැජින යැයි
තවදුරටත් නුඹ අමතනු ලබන්නේ නැත.
6මම මගේ ජනයා ගැන කෝප වී,
මගේ උරුමය අපවිත්‍ර කළෙමි.
මම ඔවුන් නුඹ අතට බාර දුනිමි;
නුඹ ඔවුන්ට දයාවක් පෑවේ නැත:
මහලු අය පිට පවා
නුඹ මහ බර වියගහක් පැටවී ය.
7‘සදාතන රැජින ව
මම වැජඹෙමි’ යි නුඹ පැවසී ය.
එහෙත් මේ දෑ නුඹ කල්පනාවට ගත්තේ නැත.
අන්තිමට කුමක් සිදු වේ දැයි නුඹ සිතා බැලුවේ නැත.
8“ ‘මා පමණෙකි; මා හැර අන් කිසිවකු නැත.
කිසි දින වැන්දඹුවක නො වන්නෙමි.
දරු වියොවින් දුකට පත් නො වෙමි’ යි තමාට ම කියා ගනිමින්,
තමන් සුරක්ෂිත යැයි සිතමින්,
පස්කම් සැපතට ගැලෙන්නිය,
එබැවින් දැන් සවන් දෙන්න.
9එක් මොහොතක, එක ම දවසක,
දරු වියෝවත්, වැන්දඹුකමත්
යන දෙක ම නුඹ කරා පැමිණේ.
උපරිමයෙන් ම ඒවා නුඹ වෙත එන්නේ,
ඒ සා අපමණ නුඹගේ මන්තර ගුරුකම් සහ
නුඹගේ ඉන්ද්‍රජාල නො සලකමිනි.
10නුඹේ දුෂ්ටකමෙහි සුරක්ෂිත යැයි හඟිමින් නුඹ,
‘කවුරුවත් මා දකින්නේ නැතැ’ යි කීවේ ය.
නුඹේ ප්‍රඥාවත්, නුඹේ දැනගැන්මත් නුඹ මුළා කළෙන්,
‘ඇත්තේ මා පමණකි;
මා හැර අන් කිසිවකු නැතැ’ යි නුඹ නුඹට ම කියා ගත්තේ ය.
11එනමුදු විපත්තිය නුඹ පිටට එනු ඇත.
මන්තරයෙන් එය පලවා හරින්නට නුඹ දැනගන්නේ නැත.
ව්‍යසනය නුඹ පිට පතිත වනු ඇත.
වන්දියක් ගෙවා, එය වළක්වන්නට නුඹට හැකියාවක් නැත.
නුඹ කිසිවක් නො දන්න විනාශයක්
හදිසියේ ම නුඹ පිට එනු ඇත.
12“ගැටවර වියේ පටන් නුඹ මහන්සියෙන් කර ගෙන ආ
නුඹේ ඉන්ද්‍රජාල හා අපමණ මන්තර ගුරුකම්
දිගට ම කර ගෙන යන්න.
ඇතැම් විට නුඹ සඵල වනු ඇත.
ඇතැම් විට නුඹ භය උපද්දවනු ඇත.
13නුඹ ලද සියලු උපදෙස්වලින් නුඹ වෙහෙසට පත් වෙනවා පමණි.
ග්‍රහ-තරු ගණින නුඹේ දෛවඥයින්,
චන්ද්‍ර මාස බලා, පෙර නිමිති පවසන නුඹේ නැකැත්කරුවන්
ඉදිරියට අවුත්, නුඹ ගලවා ගනිත්දෙන්.
14සැබවින් ම ඔවුන් ඉපනැලි වැන්න.
ගින්න, ඔවුන් දවාලනු ඇත.
ගිනිදැල්ලේ බලයෙන්
තමන් ගලවා ගැනීමට ඔවුනට නො හැකි ය.
මේවා, යමකු උණුසුම් කරන ගිනි අඟුරු නො වේ.
ගිනි තපින පිණිස වූ ගින්නක් ද නො වේ.
15බාල වියේ පටන් ඔබ හා පරිශ්‍රම දැරූවන් ද
ගනුදෙනු කළවුන් ද වූ ඔවුනට
ඔබ උදෙසා කළ හැක්කේ එපමණකි.
ඔවුන් හැම කෙනෙක් ම තම තමන්ගේ ම මාවතේ ඉබාගාතෙ යති.
ඔබ ගලවන්නට කිසි කෙනකු නැත.

Currently Selected:

යෙසායා 47: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in