YouVersion Logo
Search Icon

යෙසායා 43:1-19

යෙසායා 43:1-19 SCV

එහෙත් එම්බා යාකොබ්, නුඹ මැවූ තැනැත්තාණන්, එම්බා ඉශ්‍රායෙල්, නුඹ හැඩගැන් වූ තැනැත්තාණන් වන ස්වාමින්වහන්සේ දැන් මෙසේ කියන සේක: “භය නො වන්න, මන්ද මම ඔබ මුදා ගත්තෙමි. නම කියා මම ඔබ කැඳවා ගතිමි. ඔබ මගේ ය. දිය මැදින් ඔබ යන විට, මම ඔබ සමඟ සිටින්නෙමි. ගංගා මැදින් යන විට, ඒවා ඔබ යට කර ගලන්නේ නැත. ගිනි මැදින් ඔබ යන විට, ඔබ දැවී යන්නේ නැත. ගිනි දළු ඔබට ගිනි අවුළුවන්නේ නැත. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය, ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ, ඔබේ ගැලවුම්කරුවාණන් ය. මම ඔබේ මිදීමේ මිලයට ඊජිප්තුව ද ඔබේ හිලව්වට කූෂ් හා සෙබා ද දුනිමි. මගේ ඇස් හමුවේ ඔබ වටින නිසාත්, ගරුතර නිසාත්, මම ඔබට ප්‍රේම කරමි. ඔබ වෙනුවට මිනිසුන් ද ඔබේ ජීවිත වෙනුවට ජනතාවන් ද මම හුවමාරු වශයෙන් දෙන්නෙමි. භය නො වන්න, මන්ද මා ඔබ සමඟ ය. මම නැගෙනහිර සිට ඔබේ දරු පරපුර ගෙනෙන්නෙමි. බටහිර සිට ඔබ එකතු කරන්නෙමි. මම උතුර අමතා, ‘මුදා හරිනු’ කියාත්, දකුණ අමතා, ‘නවතා නො ගනු’ කියාත්, ඈත එපිට සිට මගේ පුතුන් ගෙනෙන්න. පොළෝ කෙළවරෙහි සිට මගේ දූවරුන් ගෙනෙන්න කියාත් කියන්නෙමි. මගේ නාමයෙන් හඳුන්වනු ලබන ඒ හැම කෙනෙක් ම මගේ මහිමය උදෙසා මවිසින් මවා, නිර්මාණ කොට සාදන ලද්දෝ වෙති.” ඇස් තිබෙන එහෙත් අන්ධ, කන් තිබෙන එහෙත් බිහිරි ජනයා පිටතට ගෙනෙන්න. සියලු ජාතීහු එකට එක් රැස් වෙත්වා! ජනතාවෝ එක් රොක් වෙත්වා! කල් මත්තෙන් මේ ගැන කීවේත්, පූර්ව දේවල් අපට පෙන්වූයේත් ඔවුන් අතරින් කවුරු ද? “එය සත්‍ය යැ” යි කියනු හැකි වන පිණිස, තම නිවැරදි භාවය ඔප්පු කිරීමට ඔවුහු තම සාක්ෂිකරුවන් ගෙන එත්වා! “මගේ සාක්ෂිකරුවෝ ඔබ යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ඔබ මා හැඳින, මා විශ්වාස කොට, උන්වහන්සේ මා වග වටහා ගන්න පිණිස, මා තෝරාගත් මගේ සේවකයාත් ඔබ ය. මට පෙරටුව කිසිදු දෙවි කෙනකු සැදුම් ලද්දේ නැත. මගෙන් පසුව මතු ඇති වන්නේ ද නැත. ස්වාමින්වහන්සේ මම ය. මම ම ය. මා හැර, අන් ගැලවුම්කරුවෙක් නැත. මම හෙළි කළෙමි; ගැලවීමි; ප්‍රකාශ කළෙමි. මා මිස ඔබ අතරෙහි අන් විදෙස් දෙවියකු නො වේ. මගේ සාක්ෂිකරුවෝ ඔබ යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “දෙවියන්වහන්සේ මම ය. තවද මතු ද උන්වහන්සේ මම ය. මගේ අතින් මුදා ගත හැකි කෙනෙක් නැත. මම ක්‍රියා කරමි. එය වෙනස් කළ හැක්කේ කවරකුට ද?” ඔබේ මිදුම්කරුවාණන් වූ ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “ඔවුන් ප්‍රීති වන ඔවුන්ගේ ම නැව්වලින් සියලු ම කල්දිවරුන් පලා යන්නන් ලෙස මෙහි ගෙන එන්නට ඔබ උදෙසා මම බබිලෝනියට මිනිසුන් යවමි. මම ස්වාමින්වහන්සේ ය; ඔබගේ ශුද්ධ තැනැන්වහන්සේ ය. ඉශ්‍රායෙල්හි මැවුම්කරුවාණෝ ය; ඔබගේ රජ්ජුරුවෝ ය.” මුහුද මැදින් පාරක් තැනූ, මහ ජල කඳ මැදින් මාවතක් තැනූ, යළි කිසි දා නො නැගිටින සේ එහි වැදහෙව, පහනක නිවී-නැතිවී යන ගිනි දැල්ල පරිදි, වැටී ගිය යුද්ධ රථ හා අශ්වයින් ද හමුදාව සමඟ බළඇණි ද ගෙන ආ තැනැන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “පසුගිය දේවල් මතක් නො කරන්න. ඉපැරණි දෑ ගැන සිත සිතා නො සිටින්න. මෙන්න! මම අලුත් දෙයක් කරමි. එය දැන් පැන නැගේ; ඔබට එය නො වැටහේ ද? මම පාළුකරයේ මාවතක් ද මුඩු බිමෙහි ගංගා ද තනන්නෙමි.