YouVersion Logo
Search Icon

යෙසායා 24

24
මුළු ලෝකය පිට විනිශ්චය
1මෙන්න! ස්වාමින්වහන්සේ පොළොව හිස් කොට,
පාළු කර දමන සේක.
උන්වහන්සේ පොළොව මතු පිට කරකවා හැර,
එහි වැසියන් විසුරුවා හරිනු සේක.
2ජනතාවට සේ ම පූජකයාටත්,
සේවකයාට සේ ම හාම්පුතාටත්,
සේවිකාවට සේ ම ස්වාමි දූටත්,
ගැනුම්කරුට සේ ම විකුණුම්කරුටත්,
ණය දෙන්නාට සේ ම ණය ගන්නාටත්,
ණය හිමියාට සේ ම ණයකරුටත්
එක ලෙස වනු ඇත.
3පොළොව මුළුමනින් නාස්ති වී යනු ඇත.
සම්පූර්ණයෙන් ම කොල්ලකනු ලබනු ඇත.
මන්ද ස්වාමින්වහන්සේ එම වචනය පවසා ඇත.
4පොළොව වියළෙයි. මැලවී යයි.
ලෝකය දුර්වල ව, මැලවී යයි.
පොළොවේ උසස් ජනයා දුබල වී යති.
5එහි ජනයා යටතේ පොළොව දූෂ්‍ය ව තිබේ.
මන්ද ඔවුහු, නීති කැඩූහ.
නියෝග උල්ලංඝන කළහ.
සදාතනික ගිවිසුම කැඩූහ.
6එබැවින් ශාපයකින්, පොළොව කා දැමේ;
එහි වැසියන් තමන්ගේ වරද දැරිය යුතු ය.
එබැවින් පොළෝ වාසීන් දවා දැමේ.
ස්වල්ප දෙනකු ඉතිරි කෙරේ.
7අලුත් මිදි යුෂ වියළී යයි. මිදි වැල මැල වේ.
ප්‍රීති වූ හදවත් ඇති සියල්ලෝ සුසුම්ලති.
8රබන්වල ප්‍රමෝදය ඇනහිට ඇත.
ප්‍රීතියෙන් කුල්මත්වූවන්ගේ ඝෝෂාව නැවතී ඇත.
වීණාවේ ප්‍රමෝදය ද නිසල ව ඇත.
9ගී ගයමින්, ඔවුන් තවත් මිදි යුෂ බොන්නේ නැත.
මත්පැන් බොන්නන් හට ඒවා දැන් තිත්ත ය.
10නාස්ති වූ පුරවරය විනාශ ව ඇත.
කිසිවකුට ඇතුළු විය නො හැකි සේ, හැම නිවසක් ම වසා දමා ඇත.
11මිදි යුෂ නැතිව ඔවුහු වීදි බැස කෑ මොර දෙති.
සියලු ප්‍රීතිය අඳුරට හැරී ගොසිනි.
සමස්ත සොම්නස පොළොවෙන් පලවා හැර ඇත.
12පුරවරය ජරාවාසයට අතහැර දමා ඇත.
පුර දොරටු පහර ලැබ, නටබුන් ව ඇත.
13පොළොව මත්තෙහි ද
ජාතීන් අතරෙහි ද එසේ ම වනු ඇත්තේ,
ඔලීව ගසක්, තලා දැමූ කලෙක මෙනි.
මිදි අස්වැන්න නෙළූ පසු, වැටුණු ඉතිරිය අහුලන්නට යෑම මෙනි.
14ඔවුහු උස් හඬ නගා, ප්‍රීතියෙන්, ගී ගයති.
ඔවුහු ස්වාමින්වහන්සේගේ මහිමතාව ගැන බටහිර සිට ප්‍රීති ඝෝෂා නගති.
15එබැවින් නැගෙනහිරදී ස්වාමින්වහන්සේට මහිමය දෙන්න.
මුහුදු දූපත්හි දී
ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයට මහිමය දෙන්න.
16ධර්මිෂ්ඨයාණන්ට මහිමය දෙමින් ගැයෙන පැසසුම් ගී
පොළෝ සීමාවල සිට අපට ඇසේ.
එහෙත් මම මෙසේ කීවෙමි: “මා පිරිහී යයි. මා පිරිහී යයි!
මට වන විපතක මහත!
ද්‍රෝහීහු පාවා දෙති!
ද්‍රෝහීහු මහත් ද්‍රෝහිකමින්, පාවා දෙති!”
17භීතියත්, බොරු වළත්, මලපතත් නුඹලා මත්තෙහි ය.
අහෝ පොළොවේ වාසය කරන්නෙනි,
18භීතියේ ශබ්දයෙන් පලායන්නා,
බොරු වළේ වැටෙයි.
බොරු වළෙන් ඉවත පැන ගන්නා
මලපතට හසුවෙයි.
මන්ද අහසේ කවුළු විවර කරනු ලැබ ඇත.
පොළොවේ අත්තිවාරම් සලිත වෙයි.
19පොළොව මුළුමනින් ම කැඩී-බිඳේ;
පොළොව කැබලිවලට පැළේ;
පොළොව සැහැසි ලෙස චලනය කෙරේ.
20පොළොව බීමත් මිනිසකු මෙන් වැනෙයි.
එය පැල්පතක් මෙන් ඇල ගසයි.
එහි කැරලිකාරකමේ අපරාධ, ඒ මත මහා බරකි.
එය වැටී යයි. යළි එය නැගිටින්නේ නැත.
21ඒ දවසේ ස්වාමින්වහන්සේ
අහසෙහි අහස් සේනාවන්ටත්,
පොළොවෙහි පොළොවේ රජුන්ටත්, දඬුවම් කරනු ඇත.
22දඟ ගෙයි වසා තබන ලද සිරකරුවන් මෙන්,
ඔවුහු එකට ගාල් කරනු ලබති.
ඔවුහු සිර ගෙයි වසා දමනු ලැබ,
බොහෝ දවසකට පසු, දඬුවම් ලබති.
23සඳු, වියවුල් වනු ඇත.
හිරු, ලජ්ජාවට පත් වනු ඇත.
මන්ද සේනාංකවල ස්වාමින්වහන්සේ
සියොන් කන්ද මත, යෙරුසලම තුළ රජකම් කරනු ඇත.
උන්වහන්සේගේ තේජස එහි වැඩිහිටියන් ඉදිරියේ වනු ඇත.

Currently Selected:

යෙසායා 24: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in