YouVersion Logo
Search Icon

යෙසායා 23

23
තීර් සහ සීදොන්ට එරෙහිව
1තීර් ගැන දිව්‍ය ප්‍රකාශනයයි:
වැලපෙනු! එම්බා තර්ෂිෂ්හි නෞකාවනි,
මන්ද එහි ගෙයක් හෝ වරායක් හෝ නැතිව
තීර් විනාශ කරන ලද්දේ ය.
සයිප්‍රස්#23:1 සයිප්‍රස් හෙබ්‍රෙව් කිත්තීම් දේශයෙන්
එය ඔවුන්ට එළිදරවු කෙරිණ.
2නිශ්චල වන්න! එම්බා මුහුදුබඩ වෙසෙන්නෙනි,
මුහුද තරණය කළ සීදොන්
වෙළඳුන් ඔබ පුරවා තිබේ.
3බොහෝ ජල මත
නයිල් ගඟේ අස්වැන්න වන
ෂීහොර් ඔයේ ධාන්‍ය ඔබගේ ආදායම වූයේ ය.
ජාතීන්ගේ වෙළෙන්දා වූයේ ඔබ ය.
4ලජ්ජා වනු! එම්බා මුහුදු බළකොටුව වන සීදොන්,
මන්ද මුහුද මෙසේ කතා කර ඇත:
“මම ප්‍රසව වේදනා නො වින්දෙමි. දරුවන් ද බිහි නො කළෙමි.
මම පුතුන් ඇතිදැඩි නො කළෙමි. දූවරුන් ද හදා-වඩා නො ගත්තෙමි.”
5ආරංචිය ඊජිප්තුවට පැමිණි කල,
තීර් වෙතින් වූ තොරතුරු ගැන ඔවුන් සංවේගයට පත් වනු ඇත.
6තර්ෂිෂ් වෙත එතෙර වන්න.
අහෝ මුහුදුබඩ වෙසෙන්නෙනි, වැලපෙන්න.
7දුර ඈත පදිංචි කරවීමට
තම දෙපයින් ගෙන යන ලද
පුරාණ දවස්වල පටන් සම්භවයක් හිමි
ඔබගේ සෙල්ලක්කාර නගරය ද මේ?
8එහි වෙළඳුන් අධිපතීන් වූ,
එහි ව්‍යාපාරිකයින් මිහි මත ගරුතරයින් වූ,
ඔටුනු පිරිනමන්නා වන තීර්ට එරෙහිව
මෙය සැලසුම් කළේ කවුරු ද?
9සේනාංකවල ස්වාමින්වහන්සේ එය සැලසුම් කළ සේක.
එසේ කළේ, එහි මුළු තේජසේ අහංකාරය බිඳින්නටත්,
මිහි පිට ගෞරවනීය සියල්ලන් අගෞරවයට පත් කරන්නටත් ය.
10නයිල් ගංගාව සේ, ඔබේ දේශය තරණය කරන්න.
එම්බා තර්ෂිෂ් දියණියනි,
මන්ද තවදුරටත් ඔබට අවහිරයක් නැත.
11 ස්වාමින්වහන්සේ ස්වකීය හස්තය මුහුදට ඉහළින් ඔසවා,
එහි රාජධානි සැලෙන්නට සැලසූ සේක.
කානාන්හි බළකොටු විනාශ කරන ලෙසට
ස්වාමින්වහන්සේ අණක් දුන් සේක.
12තවද උන්වහන්සේ මෙසේ කී සේක: “අහෝ දැන් තලා පෙළා දමනු ලැබ සිටින සීදොන් කන්‍යා දියණියනි,
නුඹට මින් මතු ප්‍රීති ප්‍රමෝදය නැත.
“නැගිටිනු; සයිප්‍රසය වෙත එගොඩ වනු.
එහිදීවත් ඔබට නිස්කලංකයක් නො වනු ඇත.”
13අන්න! කල්දිවරුන්ගේ දේශය!
මේ නම් නො සිටි ජනතාවකි.
අසිරියාව එය
කාන්තාර මෘගයින් සඳහා නියම කළේ ය.
ඔවුහු වැටලුම් කොත් ගොඩ නගා,
ඇගේ මාලිගා නාස්ති කර දමා,
එය නටබුන් කළහ.
14වැලපෙන්න. එම්බා තර්ෂිෂ්හි නෞකාවනි,
ඔබේ බළකොටුව වනසා ඇත.
15ඒ දවසේ තීර් අමතක ව යන්නේ රජකුගේ දවස් වැනි අවුරුදු හැත්තෑවකට ය. එහෙත් ඒ හැත්තෑ අවුරුදු අවසානයේදී වෙසඟනකගේ ගීතය මෙන් තීර්ට සිදු වනු ඇත:
16“අමතක ව ගිය එම්බා වෙසඟන,
වීණාවක් ගෙන නගරයෙහි සැරිසරන්න.
යළි ඔබ සිහිපත් කරවන පිණිස,
වීණාව මිහිරෙන් වයා, බොහෝ ගී ගයන්න.”
17අවුරුදු හැත්තෑව අවසානයේ ස්වාමින්වහන්සේ තීර් බැහැදකින සේක. යළි ඇය පණයම් ඉපැයීමට හැරී යනු ඇත. මිහිතලය පිට ඇති ලොව සියලු රාජ්‍යයන් සමඟ ඇය වේශ්‍යා වෘත්තියේ නියැළෙනු ඇත. 18ඇගේ වෙළඳාම් ලාභය හා ඇගේ ආදායමත් ස්වාමින්වහන්සේට වෙන් කෙරෙනු ඇත. ඒවා ගබඩා කර තබන්නේවත්, සඟවා තබන්නේවත් නැත. ඇගේ වෙළඳාම් ලාභය මගින් ස්වාමින්වහන්සේ අබියස වෙසෙන්නන්ට අධික ආහාර සඳහාත්, අනගි ඇඳුම් සඳහාත් වනු ඇත.

Currently Selected:

යෙසායා 23: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in